ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පිරිමි දරුවන් 'සංචාරකයන්ට ගොදුරුවීමේ අවදානම වැඩියි'

දශක ගණනාවක් දිග ඇදුනු යුද්ධයේ නිමාවත් සමගම ශ්‍රී ලංකාවට ඇදී එන විදේශීය සංචාරකයන් රටට රැගෙන එන විදේශීය විනිමය වර්තමානයේ ශ්‍රී ලංකාවට ප්‍රබල ආදායම් මාර්ගයක් වී තිබෙන බව නොරහසක්.

එහෙත් ශ්‍රී ලංකාවේ දස දහස් සංඛ්‍යාත ජනකායකට රැකියා සපයන සංචාරක කර්මාන්තයේ වර්ධනයත් සමග මතුවෙමින් පවතින භයානක තර්ජනයක් පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපදය පසුගියදා අනතුරු අඟවා තිබිණ.

Image copyright Reuters
Image caption 'ගණිකා වෘත්තියේ යෙදෙන මෙන් ශ්‍රී ලංකාවේ ගැහැණු දරුවන්ටත් වඩා පිරිමි දරුවන්ට බලකරනු ලැබීමට ඉඩ තිබේ'

"දේශීය ලිංගික සංචාරක කර්මාන්තය වෙනුවෙන් ගණිකා වෘත්තියේ යෙදෙන මෙන් ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල වෙසෙන ගැහැණු දරුවන්ටත් වඩා පිරිමි දරුවන්ට බලකරනු ලැබීමට ඉඩ තිබේ," බව එම තර්ජනයයි.

මෙය ශ්‍රී ලංකාව මුහුණදෙන අලුත් ප්‍රවණතාවයකුත් නොවේ.

සංචාරක සහ ලිංගික කර්මාන්තයන් බොහෝ රටවල එකිනෙකට සමීපව බැඳී තිබෙන බව සැබෑවක් මුත් ශ්‍රී ලංකාවට එන විදේශීය සංචාරකයන් අතින් මෑතදී අපයෝජනයට ලක්වූ දරුවන් පිළිබඳව නිසි සමීක්ෂණයක් සිදු කොට නොමැති බව ආණ්ඩුව මෙන්ම ළමාරක්ෂක ක්‍රියාධරයෝ පිළිගනිති.

'බඩගින්නේ එන සංචාරකයන්'

එහෙත් සිවිල් යුද්ධය උග්‍රවීමට පෙරාතුව ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ඉහල අඩියක තිබූ සමයේ, ශ්‍රී ලංකාව ළමා අපයෝජක සංචාරකයන්ගේද ජනප්‍රිය මර්මස්ථානයක් වී තිබූ බව නොරහසක්.

එවැනි ළමා දූෂකයන් ගණනාවක්ම නීතියේ රැහැනට කොටුකරගත් සමයේ ළමාරක්ෂක අධිකාරියේ සභාපති ධුරය හෙබවූයේ මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වායි.

"එදා එළිපිට වැල්ලේ සංචාරකයන් දරුවන් එක්ක සම්බන්ධ වෙන තත්ත්වයක් තිබුනා. සමහර සංචාරකයන් ගේ තියෙනවා පොතක් ස්පාටකස් කියල එකේ තියෙනවා මොන රටවලද ළමයින් හොයාගන්න පුළුවන්, මොන හොටලේටද යන්න පුළුවන් කියල. නීතිය ක්‍රියාත්මක වුනාට පස්සේ ඒ පොතේ ලංකාව ගැන තිබුණු පරිච්ඡේදය ඉවත් කෙරුවා," මහාචාර්ය වරයා බීබීසී සංදේශයට පැවසීය.

අතීතයේ පැවති දරුවන් ගොදුරු කරගන්නා එම වාතාවරණය යලිත් වරක් ශ්‍රී ලංකාවේ මතුවී ඇති බවට තමන්ට වාර්තා ලැබී නැති බව ළමා කටයුතු පිලිබඳ නියෝජ්‍ය අමාත්‍ය එම් එල් ඒ එම් හිස්බුල්ලා සංදේශයට පැවසීය.

"නමුත් සාමාන්‍යයෙන් අපි නීතිය ක්‍රියාත්මක කරනවා එහෙම නැතිව ඒ වාර්තාව කියන විදියට එච්චර ප්‍රශ්නයක් තියනවා කියල අපිට වාර්තා මොකුත් නෑ," නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

'සම්පූර්ණයෙන්ම තුරන් කළ නොහැකියි'

නිල තොරතුරු ලැබී නැතත්, සංචාරක කර්මාන්තයේ වර්ධනයත් සමග එය යලි හිස එසවීමේ අවදානමක් පවතින බව මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වාගේ මතයයි.

"ළමයින්ව සොයාගෙන බඩගින්නේ එන සංචාරකයන් ඒ බඩගින්න කොහොම හරි පිරිමහන්න බලනවා. ඒක නිසා කොහොමහරි රහසිගතව දැනටත් මේ දේ කරනවා වෙන්න පුළුවන්," බව ඔහු පවසයි.

විශේෂයෙන්ම දුප්පත්කම නිසා වෙරළබඩ ප්‍රදේශවල ළමා පරපුර අපයෝජකයන්ට ගොදුරුවීමේ අවදානමක් පවතින බව පිළිගන්නා අමාත්‍ය හිස්බුල්ලා පවසන්නේ ආණ්ඩුව ඒ සම්බන්ධයෙන්ද පියවර ගමිනින් සිටින බවයි.

කෙසේ වුවත් විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය හා බැඳුනු ළමා අපයෝජකයන්ට වැට බැඳීමට ජාත්‍යන්තර ප්‍රජාවේද උනන්දුව හීන වී ඇති බැවින් මෙය සමාජයෙන් සම්පූර්ණයෙන්ම තුරන් කල හැකි පිළිලයක් නොවන බවයි, මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා පවසන්නේ.

"මම මේකත් විශේෂයෙන්ම කියන්න ඕනේ. අපි සමහර සංචාරකයන් අත් අඩංගුවට ගත්ත වෙලාවේ ඒ අපයෝජකයන් බේරගන්න විශේෂයෙන්ම ඉදිරිපත් වුනේ ඒ රටවල තානාපති නිළධාරීන් සහ තානාපති කාර්යාල. තමන්ගේ රටේ නම බේරගන්න විතරයි එයාලට අවශ්‍යවෙලා තිබුනේ," මහාචාර්යවරයා පවසයි.