ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඉන්දියාවේ ක්‍රිකට් ඩීආර්එස් තාක්ෂණ විරෝධය විවේචනයට

ක්‍රිකට් විනිසුරුවන්ගේ තීරණවල නිරවද්‍ය භාවය පරීක්ෂා කෙරෙන ඩීආර්එස් (DRS) තාක්ෂණය යොදාගැනීම අනිවාර්ය කිරීමට දෙවැනි වතාවටත් අයිසීසී (ICC) ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය අපොහොසත්වීම පිළිබඳව ලොවපුරාම ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහ ක්‍රිකට් ලෝලීන්ගේ විරෝධය පලවෙමින් පවතී.

පසුගියදා මැලේසියාවේ පැවති ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක සමුළුවේදී සෑම ක්‍රිකට් තරගයකටම එය යොදාගත යුතු බව නිර්දේශ කෙරුණත් ඉන් දිනෙකට පසුව පැවති ප්‍රධාන සමුළුවේදී එම නිර්දේශය ක්‍රියාවට නැගීම කල් දමනු ලැබිණ.

ඩීආර්එස් තාක්ෂණය සියලු ජාත්‍යන්තර තරග සඳහා යොදාගැනීමේ සැලසුමට තම සහාය හිමිවන බවයි, ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර ලෙස සැලකෙන එම්සීසී (MCC) මාලේබෝන් ක්‍රිකට් සමාජය බීබීසී සංදේශයට කියා සිටියේ.

Image copyright
Image caption ඩීආර්එස් තාක්ෂණය යොදාගැනීම අනිවාර්ය කිරීම අයිසීසීය දෙවැනි වතාවටත් කල් දමා තිබේ

එම්සීසී සමාජයේ හිටපු සභාපතිවරයෙකුද වන එහි ක්‍රිකට් කමිටුවේ සභාපති මයික් බ්‍රේයර්ලි සඳහන් කරන්නේ පසුගියදා මැලේසියාවේ පැවති අයිසීසී ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයේ සමුළුවේදී ඉන්දියාව යලිත් වරක් ඩීආර්එස් තාක්ෂණය යොදාගැනීම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව තමන් කණගාටු වන බවයි.

මෙතෙක් ක්‍රිකට් ක්‍රීඩාවේ ඇති වූ ප්‍රවණතා අතරින් යහපත්ම දේ ලෙසින් ඩීආර්එස් තාක්ෂණය බිහිවීම තමන් සලකන බවයි, මේ අතර හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග සංදේශයට කියා සිටියේ.

'කොන්දක් නැති ආයතනයක්'

ජාත්‍යන්තර පාලක මණ්ඩලය මීට වඩා "කොන්දක් තිබෙන ආයතනයක්" විය යුතු බව පවසන රණතුංග මන්ත්‍රීවරයා, ඉන්දියාවේ මුදල් පසුපස හඹායමින් ක්‍රීඩාව විනාශකරන බවට අයිසීසීයට චෝදනා කරයි.

ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ මේ විරෝධය දෝෂදර්ශනයට ලක්කරන්නේ වෙනත් රටවල් පමණක් නොවේ. Cricinfo වෙබ් අඩවියේ ජ්‍යෙෂ්ට මාධ්‍යවේදිනියක වන ශාර්දා උග්‍රා බීබීසී සංදේශයට කියා සිටියේ DRS තාක්ෂණය යොදා ගත යුතුද යන ප්‍රශ්නය පිළිබඳව මැලේසියාවේ පැවති වාර්ෂික සමුළුවේදී චන්ද විමසීමක් පැවැත්විය යුතුව තිබූ බවයි.

"කාටවත් පුළුවන්කම තිබුනේ නෑ මේක ගැන ඡන්දයක් ඉල්ලන්න. අනිත් හැම රටවල්ම මේකට සහාය දෙද්දී ඉන්දියාව විතරක් විරුද්ධ වුනා කියල බොරුවට කියල වැඩක් නෑ ඒක ගැන ඡන්දයක් ඉල්ලලා ඒක සම්මත කරගන්න උත්සාහ කරන්න ඕනේ. නමුත් කිසිම රටක් එංගලන්තය, ඕස්ට්‍රේලියාව වගේ ප්‍රධාන රටවල ඉඳල එතරම් වත්කමක් නැති රටවල් දක්වා කිසිම රටක්, ඡන්දයක් ඉල්ලුවේ නෑ. ඉන්දියාවේ මූල්‍ය බලය නිසා ඉන්දියාවේ පාලක මණ්ඩලය තරහ කරගන්න ඒ කවුරුවත් කැමති නෑ," ඇය සඳහන් කරන්නීය.

ඉන්දියාව ඩීආර්එස් තාක්ෂණයට විරෝධය පළකරන්නේ 2011 දී ශ්‍රී ලංකාවට එරෙහිව පැවති තරඟාවලියකදී DRS තාක්ෂණය යොදාගෙන ගනු ලැබූ තීරණ බොහොමයක් ඉන්දීය පිලට එරෙහිව යාමෙන් අනතුරුවයි.

විශේෂයෙන්ම මෙම තාක්ෂණයේ නිරවද්‍යභාවය පිළිබඳව තවත් බොහෝ පර්යේෂණ පැවැත්විය යුතු බවයි ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ මෙන්ම ක්‍රිකට් ක්‍රීඩකයන්ගේද තර්කය වී තිබෙන්නේ. නමුත් ඉන්දීය බලධාරීන් මෙන්ම ක්‍රීඩකයන් ද තමන්ගේ පුද්ගලික වාර්තා පිළිබඳව පමණක් අවධානය පළ නොකොට ක්‍රීඩාවේ අනාගත සුබසිද්ධිය වෙනුවෙන්ද දායක විය යුතු බව රණතුංග මන්ත්‍රීවරයාගේ මතයයි.

'ස්වාධීන ආදායම් මාර්ග'

විනිසුරු තීරණ පිරික්සීමේ තාක්ෂණය යොදාගැනීම සඳහා ප්‍රබල වියදමක් දැරීමට වර්තමානයේ සත්කාරක රටට සිදුවන අතර ඒ වෙනුවට තාක්ෂණය යොදාගැනීම සඳහා ජාත්‍යන්තර පාලක මණ්ඩලය වියදම් දැරීම වඩා යෝග්‍ය බව ශාර්දා උග්‍රා මෙන්ම ක්‍රිකට් මහගෙදර එම්සීසීයේ මයික් බ්‍රේයර්ලි ද සංදේශයට පැවසූහ.

Image caption ඉන්දියාව යලිත් වරක් ඩීආර්එස් තාක්ෂණය ප්‍රතික්ෂේප කිරීම ගැන කණගාටු වන බව හිටපු එම්සීසී සභාපති මයික් බ්‍රේයර්ලි සංදේශයට පැවසීය

මේ අතර (FICA) ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සම්මේලනයේ ප්‍රධාන විධායක ටිම් මේ සංදේශයට පැවසුවේ සියලුම රටවලට එම තාක්ෂණය අනිවාර්ය කිරීමට තම සහාය පලවන බවයි. එමතු නොව ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ජාත්‍යන්තර පාලක මණ්ඩලය සංපූර්නයෙන්ම ස්වාධීන අධ්‍යක්ෂ මණ්ඩලයකින් සමන්විත විය යුතු බවද ඊමේල් පණිවුඩයක් මගින් සංදේශයට දහස් දැක්වූ ටිම් මේ සඳහන් කළේය.

Cricinfo වෙබ් අඩවියේ ඉන්දීය ප්‍රකාශනයේ ජ්‍යෙෂ්ට සංස්කාරිකා ශාර්දා උග්‍රා මේ අතර පවසන්නේ ලෝක ක්‍රිකට් පරිපාලනයේ කිසිදිනෙක ප්‍රජාතන්ත්‍රවාදයක් දක්නට ලැබෙනු නැති බවයි.

"ඉන්දියාවේ පාලක මණ්ඩලය අපි එක්ක අමනාප වීම ගැන මම තකන්නේ නෑ කියන ආකල්පය තියෙන අය තමයි අපට අවශ්‍ය. මම හිතන්නේ ලෝකේ අනිත් ක්‍රිකට් ගහන රටවල් ඉන්දියාවේ මේ තර්ජන, අඩන්තේට්ටම් වලට විරුද්ධව නැගී සිටිය යුතුයි. එහෙම නැගී ඉඳල ඩීආර්එස් තාක්ෂණය ගැන චන්දයක් ඉල්ලිය යුතුයි. තමන්ට කවුරු හරි තර්ජන කරනවානම්, අඩන්තේට්ටම් කරනවානම් අපි කරන්නේ අකුලා ගෙන පැත්තකට වෙන එකද, එකට විරුද්ධව නංගී ඉන්න එකද?," ඇය පවසන්නීය.

"අනිත් එක තමයි ඒ රටවල් සේරම ඉන්දියාවේ රුපවාහිනී ආදායමෙන් යැපෙන්න බලා ඉන්නේ නැතිව තමන්ගේම ස්වාධීන ආදායම් මාර්ග හදාගන්න උත්සාහ කරන්න ඕනේ."

මේ විරෝධය සම්බන්ධයෙන් බීබීසී සංදේශය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ප්‍රතිචාරය විමසා යවන ලද ඊමේල් පණිවුඩයට මේ වනතුරුම පිළිතුරක් ලැබී නැහැ.

මේ පිලිබඳව සංදේශය විමසීමක් කළ අවස්ථාවේ ජාත්‍යන්තර පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක ඩේවිඩ් රිචඩ්සන් මේ මොහොතේ ඒ පිළිබඳව අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළේය.