ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි

මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි අගය කරන ග්‍රන්ථය ජීවීන්ගේ පරිනාමය විද්‍යාත්මකව තහවුරු කිරීමේ මුල් පොත, 1859 දී චාල්ස් ඩාවින් ලියා පළ කළ The Origin of Species . 2010 දී එය සිංහලට නැගුවේ පසන් කොඩිකාර .

දර්ශනය අධ්‍යයනය සඳහා 1964 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයට පිවිසි ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි ශාස්ත්‍ර වේදී උපාධිය දිනා 1969 දී එහිම කථිකාචාර්ය ධුරයකට පත්වී. වැඩිදුර අධ්‍යයන කටයුතු සඳහා ඕස්ට්‍රේලියාවෙත් බ්‍රිතාන්‍යයේත් විශ්ව විද්‍යාල වල පර්යේෂණයේ නියැලි මල්ලිකාරච්චින් ආචාර්ය උපාධිය දිනුවේ ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන්. ආගම හා වෙළෙඳාම අතර සම්බන්ධතාව විමසමින් කළ ඒ උපාධි නිබන්ධනය 'වෙළෙඳාම ආර්ථිකය හා අභිචාර විධි' නමින් එහි සිංහල පරිවර්තනය 2012 සැප්තැම්බරයේ සාහිත්‍ය මාසයේදී එළි දැක්වීමයි මහාචාර්ය මල්ලිකාරච්චි ගේ අභිප්‍රාය. පේරාදෙණිය සරසවියේ දර්ශන හා මනෝ විද්‍යා අංශයේ මහාචාර්ය ධුරය හොබවන ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි කියවන්නේ චාල්ස් ඩාවින් ගේ The Origin of Species ග්‍රන්ථයේ පසන් කොඩිකාර පරිවර්තනය, 2011 රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පුද ලද සත්ත්ව සහ ශාක විශේෂයන්ගේ සම්භවය.

ඉංග්‍රීසි ජාතික ස්වභාව විද්‍යාඥ චාල්ස් ඩාවින් මුලින්ම සරසවි ගියේ එඩින්බරා විශ්ව විද්‍යාලයට වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා. දෙවසරක් තුලදී ඒ අත්හැර දැමු ඔහු කේම්බ්‍රිජ් සරසවියට ඇතුල්වී. 1831 දී ඉන් පිටවූ ඔහු ඒ වසරේ දෙසැම්බරයේ බ්‍රිතාන්‍යයෙන් දියත් කළ බීගල් නෞකාවේ පස් වසරක් පුරා යාත්‍රා කොට දේශ දීපාන්තර වලින් එක් රැස් කොට ගත් දත්ත ඇසුරින් කළ යුග කාරක ග්‍රන්ථයයි The Origin of Species . 73 වැනි වියේදී හෘදයාබාධයකින් මියයන විට චාල්ස් ඩාවින් පළ කොට තිබු කෘති සංඛ්‍යාව 25 ඉක්මවයි.