ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඔලිම්පික් සැණකෙළියට එක්වූ ශ්‍රී ලාංකිකයෝ

Image caption ශ්‍රී ලංකාව වැනි රටවලට මේ උළෙලෙන් බොහෝ පාඩම් ඉගෙන ගත හැකි බව වෛද්‍ය චම්පා මංචනායක පවසයි

ක්‍රීඩක ක්‍රීඩිකාවන් හත් දෙනකු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2012 ඔලිම්පික් උළෙලට සහභාගි වන අතරවාරයේ තවත් ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් ඔලිම්පික් උළෙලට සම්බන්ධ වී සිටිති.

ඔලිම්පික් ගම්මානයේ පිහිටි බෞද්ධ විහාරස්ථානයේ ආගමික කටයුතු මෙහෙයවන ලන්ඩන් බෞද්ධ විහාරාධිපති බෝගොඩ සීලවිමල හිමියන් ට ඒ අතරින් ප්‍රමුඛස්ථානය හිමිවේ.

බෞද්ධයන්ට පමණක් නොව බෞද්ධ නොවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පවා අවවාද අනුශාසනා කොට පිරිත් දේශනා කරන බව එහිමියෝ පවසති.

ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තහනම් උත්තේජක භාවිත කොට තිබෙන්නේද යන්න පරීක්ෂා කරන ඒකකයේ සේවය කළ ශ්‍රී ලාංකික වෛද්‍යවරියක ද සංදේශයට හමුවිය. වෛද්‍ය චම්පා මංචනායකයි, ඒ.

Image caption චින්තක වික්‍රමසිංහ බ්‍රිටිෂ් එයාවේස් ගුවන් සේවය වෙනුවෙන් ගම්මානයේ සේවයේ යෙදී සිටින තවත් ශ්‍රී ලාංකිකයෙක්

එහිදී තමන්ගේ කාර්යභාරය පිළිබඳව ද ඇය සංදේශයට විස්තර කළාය.

චින්තක වික්‍රමසිංහ බ්‍රිටිෂ් එයාවේස් ගුවන් සේවය වෙනුවෙන් ගම්මානයේ සේවයේ යෙදී සිටින තවත් ශ්‍රී ලාංකිකයෙක්. ඔලිම්පික් ගම්මානයට පිවිසීම සඳහා ටිකට් පත් ලබා ගැනීමට නොහැකි වූ ක්‍රීඩා ලෝලීන්ට ලොව දැවැන්තම ක්‍රීඩා සැණකෙළිය නැරඹීමේ අවස්ථාව සලසා දී තිබෙන පාරක් ලයිව් උද්‍යානයේයි, ඔහු සේවය කරන්නේ.

ඔලිම්පික් ගම්මානයේ සේවය කිරීමට අවස්ථාව ලැබීම භාග්‍යයක් බව පවසන වෛද්‍ය චම්පා මංචනායක, ශ්‍රී ලංකාව වැනි රටවලට මේ උළෙලෙන් බොහෝ පාඩම් ඉගෙන ගත හැකි බව ද ප්‍රකාශ කරන්නීය.

Image copyright NOC Sri Lanka
Image caption බෞද්ධයන් පමණක් නොව බොහෝ වෙනත් ආගමිකයන්ද තම විහාරස්ථානයට පැමිණෙන බව බෝගොඩ සීලවිමල හිමියෝ පවසති

ඔලිම්පික් වැනි දැවැන්ත සම්බන්ධ වීමට ලැබීම තමාගේ පෙර කුසලයක ප්‍රතිඵලයක් යයි විශ්වාස කරන බව පවසන ගම්මානයේ පන්සලේ විහාරාධිපති බෝගොඩ සීලවිමල හිමියන් බෞද්ධයන් පමණක් නොව බොහෝ වෙනත් ආගමිකයන්ද තම විහාරස්ථානයට පැමිණෙන බවත් සංදේශයට පැවසූහ. සමස්ත ඔලිම්පික් සංකල්පයෙන්ම ශ්‍රී ලංකා බලධාරීන්ට උගෙනීමට බොහෝ පාඩම් තිබෙන බවයි, එහිමියන් ද පවසන්නේ.

ඔලිම්පික් උළෙල ආරම්භයේ ඔලිම්පික් පහන රැගෙන යාමේ කටයුත්තට එක්වූ අට දහසක් දෙනා අතරින් තිදෙනෙක් ශ්‍රී ලාංකිකයන්.

එමෙන්ම උළෙල ආරම්භයේ පැවති දැවැන්ත සංදර්ශනයටද ශ්‍රී ලාංකිකයන් එක්වී සිටියහ.මේ අතර එල්ටීටීඊ යට එරෙහි යුද්ධයේදී ආරක්ෂක හමුදා බරපතල මානව හිමිකම් උල්ලංඝනය කළ බැවින් ශ්‍රී ලංකා ඔලිම්පික් උළෙලට සහභාගි කර ගැනීම පිළිබඳව විරෝධය පාමින් ශ්‍රී ලාංකික දෙමල ජාතිකයෙක් මාරාන්තික ගම්මානය ඉදිරිපස උපවාසයක නිරතව සිටී.