ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මහාචාර්ය පුංචි බණ්ඩා මීගස්කුඹුර

වාග් විද්‍යාඥ මහාචාර්ය පුංචි බණ්ඩා මීගස්කුඹුරයන් පොතකින් පිටුවක් හා එක් කරන්නේ ගුරුළුගෝමීන්ගේ ධර්මප්‍රදීපිකාව.

කොත්මලේ ඉපිද වලල මහා විද්‍යාලයේ උසස් පෙළ හදාරා 1958 වර්ෂයේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ පුංචි බණ්ඩා මීගස්කුඹුරයන් හදාළේ පාලි, සිංහල හා බෞද්ධ අධ්‍යයනය. සිංහල විශේෂවේදී උපාධිය සමත්වී 1962 වසරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සහය කථිකාචාර්යවරයකු ලෙස සිංහල අධ්‍යයන අංශයේ කටයුතු කළ මීගස්කුඹුරයන් පශ්චාත් උපාධිය ලද්දේ ඉන්දියාවේ පූනා සරසවියෙන්.

තුලනාත්මක වාග් විද්‍යාව සඳහා ඔහු ලද ආචාර්ය උපාධි නිබන්ධනය ඉන්දීය භාෂා අටක් සමග සිංහලය සසඳා බැලීමක්. සිංහල, ඉංග්‍රීසි, පාලි, සංස්කෘත, හින්දි, මරාති හා ප්‍රාකෘත බසෙහි හසල මහාචාර්ය මීගස්කුඹුරයන් ලියූ ග්‍රන්ථ අතුරින් පෙරදිග මීමංසා ශාස්ත්‍රය , නූතන අර්ථ නිරූපන වේදය හා සෞන්දර්ය විචාරය මෙන්ම සිරිලක වැදි ජන පුරාණය යන කෘති රාජ්‍ය සම්මානයෙන් පුද ලද්දේයි.

දොළොස් වැනි සියවසේ පැවැති පොළොන්නරු රාජ සමයේ විසූ සේ සැලැකෙන ගුරුළුගෝමීන් ලියූ ග්‍රන්ථ සේ ඇත්තේ අමාවතුර හා ධර්මප්‍රදීපිකාව. සිංහල ගද්‍ය සාහිත්‍යයේ පරිකථා ගණයෙහි ලා ගැනෙන පළමු වැන්න ධර්මය දැක්මට එළිය දෙන පහන යන අර්ථය දෙමින් ලියූ ධර්මප්‍රදීපිකාවයි.