නාමෙල් වීරමුනි

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 17 බදාදා - 11:56 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

නාට්‍ය වේදී නාමෙල් වීරමුනි අත ඇත්තේ ඉංග්‍රීසි මහ ගත් කරු චාල්ස් ඩිකන්ස් ගේ 'Great Expectations' නවකතාවේ සිංහල ඡායානුවාදය, ඊ ආර් එරත්නයන් ගේ 'රොමාගේ වාසනාව'.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

නාට්‍යවේදී නාමෙල් වීරමුනි අත ඇත්තේ සාහිත්‍යවේදී ඊ ආර් එරත්නයන් 1944 දී මුල්වරට එළිදැක්වූ ඉංග්‍රීසි මහ ගත්කරු චාල්ස් ඩිකන්ස් ගේ 'Great Expectations' නවකතාවේ සිංහල ඡායානුවාදය, 'රොමාගේ වාසනාව'.

අහුන්ගල්ලේ ගල්වෙහෙර විද්‍යාලය, පේරාදෙණිය මහා විද්‍යාලය, රත්නපුර ශාන්ත ලූක් විද්‍යාලය තෙවිදුහලින් මුලික අධ්‍යාපනය නිම කොට කොළඹ නාලන්දාවෙන් ද්විතීය සිප් සතර හදාළ නාමෙල් වීරමුනි පේරාදෙණියේ ලංකා විශ්ව විද්‍යාලයෙන් සමාජ විද්‍යා ශාස්ත්‍රවේදී උපාධිය ද ලංකා නීති විද්‍යාලයෙන් නීති උපාධිය ද ලැබූ අධි නීතිඥවරයෙකි. එංගලන්ත නීති විද්‍යාලයේ සොලිසිටර්වරයකු වූ නාමෙල්, එකුන් තිස් වසරක් එරටම නීතිඥ වෘත්තියේ නියැළී, සිටි ඔෆ් ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් නීතිය පිලිබඳ ශාස්ත්‍රපති උපාධිය දිනූවෙක්. ඔහු දෙවැනි ශාස්ත්‍රපති උපාධිය නාට්‍ය කලාව සඳහා හිමිකර ගත්තේ කැලිෆෝනියාවේ නෝර්ත් රීජ් රාජ්‍ය විශ්ව විද්‍යාලයෙන්. සරසවි සිසු සමයේ මහැදුරු එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ 'රත්තරං' නාට්‍යයේ පුතා ලෙසින් 1959 දී රංග භූමියට පිවිසි නාමෙල් ගේ මුල්ම නාට්‍ය නිර්මාණය ප්‍රංශ මහා කලාකරු අනටෝල් ෆ්රාන්ස් ගේ The Man Who Married the Dumb Wife ඇසුරින් 1960 දී නිමැවූ ‘ගොළු බිරිඳ’. ඔහු විසින් රංගගත කරන ලද 'නැට්ටුක්කාරි' නාට්‍යයයි 1972 දී හොඳම රචනය, නිෂ්පාදනය, නිළිය හා පසුතල නිර්මාණ ඇතුළු රාජ්‍ය සම්මාන රැසක්‌ දිනා ගත්තේ. සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු ඉංග්‍රීසියට පෙරැළීම වෙනුවෙන් නාමෙල් 2002 දී හොඳම පරිවර්තක ලෙසින් රාජ්‍ය සම්මානයෙන් පුද ලැබී. බ්‍රිතාන්‍ය දිවියෙන් සමුගෙන බිරිඳ මාලනිය සමගින් පෙරලා සියරට පැමිණි නාමෙලුන් පුංචි තියටර් රඟහලේ හිමිකරුවෙක්.

ඊ ආර් එරත්න

සිංහල සිනමාවට නැගුනු මුල්ම කවි කතාව සාගර පලන්සුරිය කිවිඳුන්ගේ 'සුදෝ සුදු'. එහි දෙබස් රචනා කළේ ඊ ආර් එරත්නයන්. පරිවර්තන හා ප්‍රබන්ධ කරණයට අමතරව, සිංහලය, ඉතිහාසය, ජීවන විත්ති හා වන කතා ඈ විවිධ ක්ෂේත්‍රයන් ඇසුරු කොට ග්‍රන්ථ කරණයේ යෙදුනු එරත්නයන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ග්‍රන්ථ පරිවර්තක ධූරයද හෙබවූ අධ්‍යාපනඥයෙක්. සිංහල, ඉංග්‍රීසි, පාලි, සංස්කෘත බසෙහි හසළ ඊ ආර් එරත්න ශාස්ත්‍රවේදී උපාධිය ලැබුවේ ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන්. දිවයිනේ මුල් පෙළේ පාසල් කිහිපයකම විදුහල්පති ධුරය හෙබැවූ ඔහු 66 වියැති දිවියෙන් සමුගත් 1975 න් අනතුරුවද රොමාගේ වාසනාව හය වාරයක් මුද්‍රණයෙන් එළි දක්වා තිබේ. ඊට පාදක වූයේ වික්ටෝරියානු යුගයේ විශිෂ්ටතම ඉංග්‍රීසි ලේඛකයා සේ ගැනෙන චාල්ස් ඩිකන්ස් දහනව වැනි සියවස මැදදී ලියූ Great Expectations. විවිධ අනුවර්තන වලට පෙරළා තිබෙන එම නවකතාවේ නව අර්ථකථනයක් 1998 දී ඉංග්‍රීසි සිනමාවට නැගුවේ අල්ෆොන්සෝ කුවරොන්.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.