ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

චන්ද්‍රා කළුආරච්චි

සම්මානලාභී රංගනවේදිනී චන්ද්‍රා කළුආරච්චි සිය හඬින් පණ ගන්වන නවකතාව සමරවීර විජේසිංහ ගේ 'ස්වයංජාත'.

ගුවන් විදුලියේ ළමා පිටියට පිවිස හඬ නළුවෙන් නිළි භූමිකාව ඇරැඹි චන්ද්‍රා කළුආරච්චි කරළියට ගොඩවුනේ සෝමපාල ගුණධීරයන්ගේ 'රත්තරන් පුතා' වේදිකා නාට්‍යයෙන්.

1964 නාට්‍ය උළෙලේදී හොඳම නාට්‍ය පිටපත හා හොදම නළුවා සම්මානද දිනාගත් ප්‍රේමරංජිත් තිලකරත්නගේ 'වහලක් නැති ගෙයක්' හැඩ කළ හොඳම නිළිය ලෙසයි චන්ද්‍රා පළමු වරට රාජ්‍ය සම්මානයට පාත්‍ර වුයේ. ඉන් අනතුරුව ආර් ආර් සමරකෝන් හා දයානන්ද ගුණවර්ධන රංගවේදීන්ගේ නාට්‍ය නිර්මාණ සඳහා රාජ්‍ය සම්මාන දිනා දී ඇති නිළියක් චන්ද්‍රා. ඇය සුගතපාල සිල්වා ගේ වේදිකා නිර්මාණද රංගනයෙන් සැරසූ රංගන වේදිනියක්. ජී ඩී එල් පෙරේරා 1968 දී අධ්‍යක්ෂණය කළ 'දහසක් සිතුවිලි' සලරුවෙන් රිදී තිරයට එක්වූ චන්ද්‍රා කළුආරච්චි සිනමා රංගනය සඳහාද කීප වර සරසවි සම්මාන දිනා ඇත්තී.

සමරවීර විජේසිංහ

2009 ස්වර්ණ පුස්තක සම්මානයෙන් පුද ලද ස්වයංජාත, භවතුරු යට, වැස්ස වලාහක, කෙලෙස් පර්වත යන නවකතා පාඨකයා හමුවට පමුණුවා ඇති සමරවීර විජේසිංහ ගේ සිවුවැනි නවකතාවයි. සමන් කුමාර ලියනගේ ටෙලි නිර්මානයට මුල් වුයේ සමරවීර විජේසිංහ ගේ ‘වැස්ස වලාහක’. චන්ද්‍රා කළුආරච්චි පොතකින් පිටුවක් වෙනුවෙන් තෝරා ගත් 'ස්වයංජාත' පුංචි තිරයට නැගුනේ සුදත් රෝහණ අතින්.