ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඉතාලි බස් අනතුරෙන් තිස් නව දෙනෙක් මරුට

ඉතාලියේ මාර්ගාරක්‍ෂක වැටවල් කඩා ගෙන ප්‍රපාතයකට පෙරළුණු බස් රිය අනතුරින් මේ වන විට මරණයට පත් මගීන්ගේ සංඛ්‍යාව තිස් නව දෙනකු වන බවයි වාර්තා වන්නේ.

ඉතාලි ජාතිකයන් විසින් අනතුරු සහිත ස්ථානයක් හැටියට හඳුන්වනු ලබන මාර්ගය කලාපයක දීයි, අනතුර සිදු වී තිබෙන්නේ.

මරණයට පත් අයට අමතරව තවත් මගීන් දහ දෙනෙක් තුවාල ලැබ ඇති බවත් වාර්තා වෙයි.

ප්‍රපාතය පහළට වැටී ඇති බස් රියේ වහල එහි බඳින් කැඩී වෙන් ව ගොස් ඇති බවයි පෙනෙන්නේ.

පොඩි පට්ටම් වූ බස් රියේ සුන්බුන් අතර හිර වී සිටි තුවාල කරුවන් සහ මළ සිරුරු ඉවතට ගැනීමට බේරා ගැනීමේ නිරත කණ්ඩායම් ඊයේ රාත්‍රිය පුරාම ක්‍රියාත්මක වෙමින් සිටි බවත් වාර්තා කෙරිණ.

අනතුර සම්බන්ධයෙන් විභාගයක් ආරම්භ කොට ඇති අතර, දිවි බේරුණ එක් මගියෙක් පවසන්නේ, බස් රිය අනතුරට ලක් වීමට මඳ වෙලාවකට පෙර එහි ටයරයක් පිපිරෙන හඬක් ඇසුණ බවයි.

ඉතාලියේ ඉතා ජනප්‍රිය පියෝ ශාන්තු වරයාගේ ජන්ම භූමියේ සිට වන්දනාකරුවන් පිරිසක් නේපල්ස් නගරය කරා ප්‍රවාහනය කරමින් තිබිය දීයි බස් රිය අනතුර සිදුව තිබෙන්නේ.