ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහා මණ්ඩලය අමතයි

ඇතැම් රටවල් ශ්‍රී ලංකාව පසුපස කෙරෙන විරාමයක් රහිත හඹා ඒම අනුමත කළ නො හැකි බව ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්සත් ජාතීන්ගේ මහා සමුළුව අමතමින් කියා සිටියේ ය.

මහා මණ්ඩලයේ 68 වන සැසි වාරයට සහභාගී වෙමින් හය වන වතාවටත් එය අමතා කතා කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ,සිය කතාව ආරම්භයේ දී , පසුගිය දා කෙන්යාවේ නයිරෝබි සාප්පු සංකීර්ණයට එල්ල කෙරුණ ත්‍රස්තවාදී ප්‍රහාරය නිසා ජීවිත අහිමි වූ සියලු දෙනාගේ පවුල්වලට සිය සංවේගය පළ කළේ , ශ්‍රී ලංකාවේ ජනතාවත් මෑත ඉතිහාසයේ එවැනි ප්‍රහාර වලට ගොදුරු වූ බව මතකයට නඟමින්.

එක්සත් ජාතීන්ගේ සංවිධානය, භාවිත ප්‍රමිතීන්ගේ සුසංගතභාවය ආරක්‍ෂා කර ගැනීමට නිර්භය ව ක‍්‍රියා කළ යුතු අතර, එසේ කළොත් පමණක් එම සංවිධානය සම්බන්ධයෙන් පවතින සැක සංකා සමනය වනු ඇති බවයි, ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මහා මණ්ඩලයට කියා සිටියේ.

එක්සත් ජාතීන්ගේ කාර්ය සාධනය විමසන විට ,අතිශය මූලික ගැටළු යටපත් කොට දේශපාලන ස්වභාවයක් ගත් කරුණු ප‍්‍රමුඛත්වය ගෙන ඇති ස්වරූපයක් පෙනී යන බව සඳහන් කළ බව පැවසූ ජනාධිපතිවරයා,එය ලෝක සමාජයේ ඌන වරප්‍රසාදිත හා කොන් කරනු ලැබුන ජනතාවට අහිතකර ලෙස බලපා තිබෙන බවයි අවධාරණය කළේ.

කණස්සල්ලට කරුණක්

ඇතැම් රටවල් ආරක්‍ෂාව හේතුවක් කර ගනිමින් සහ මානව හිමිකම් භාර කරුවන් ලෙස පෙනී සිටිමින්, සංවර්ධනය වන රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමේ වර්ධනය වන ප‍්‍රවණතාවක් අන්තර්ජාතික ක්‍ෂේත‍්‍රයේ දක්නට ලැබීම කණස්සල්ලට හේතුවක් වන බවයි, ජනාධිපති රාජපක්ෂ පෙන්වා දුන්නේ.

ලබා ඇති ප්‍රගතිය සහ එක්සත් ජාතීන්ගේ යාන්ත්‍රණ සමඟ ඇති ස්ථිර සාර සහභාගිත්වය ද නොතකා හරිමින්,ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන අසමාන සැලකීම ගැන බොහෝ රටවල් මවිතයට පත්ව සිටින බවයි, ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය දේශනය අවසානයේ දී සඳහන් කළේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි මූන් සමග සාකච්ඡාවකට සහභාගී වු අතර, ශ්‍රී ලංකාව ඉදිරියේ ඇති අභියෝග පිළිබඳ ව මෙන් ම, උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ගැනෙන පියවර සම්බන්ධයෙන් මහලේකම්වරයා ජනාධිපතිවරයාගෙන් විමසූ බවයි, එක්සත් ජාතීන් ගේ වාර්තා මගින් පැවසෙන්නේ.