ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මිහිතලය රත්වීමට ප්‍රධානම හේතුව 'මිනිස් ක්‍රියාකාරකම්'

මිහිතලයේ උණුසුම වැඩි වීමට හේතුව මිනිස් ක්‍රියාකාරකම් වන බවට පෙරට වඩා කරුණු ඒත්තු ගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විද්‍යාඥයෝ පවසති.

දේශ ගුණ විපර්යාශයන් පිලිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය විසින් නිකුත් කරනු ලැබ ඇති අලුත් වාර්තාවකින් කියවෙන්නේ, පණහේ දශකයේ පටන් තත්වය බලන විට මිහිතලයේ උෂ්ණත්වය ඉහළ යාමට ප්‍රධාන හේතුව මිනිසාම වන බවට සියයට අනූ පහක සහතිකයක් ඇති බවයි.

මේ සියවස අවසාන වන විට මුහුදු මට්ටම සෙන්ටි මීටර් අසූ දෙකකින් ඉහල නගිනු ඇති බවට විද්‍යාඥයෝ අනතුරු අඟවති.

අඩුතරමින් ගත වූ වසර අට ලක්ෂයක කාලය තුල දක්නට නොවූ මට්ටමින්, හරිතාගාර වායු පරිසරයට එක් වීම මිහිතලයේ උණුසුම වැඩි වීමට හේතු වී ඇතැයි පවසන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විද්‍යාඥයෝ, තත්වය තවත් නරක අතට හැරීම වැළැක්විය නොහැකි බවට අනතුරු ඇඟවීමක්ද කරති.

නායයාම් සහ නියඟ

එම තොරතුරු හෙළිදරව් කරනු ලැබීම අගය කරමින් ප්‍රකාශයක් කරන එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි මූන්, ලෝකය මුහුණ දී ඇති ප්‍රධානතම අභියෝගය සම්බන්ධයෙන් විද්‍යාවේ ප්‍රතිචාරයක් ලෙසිනුයි වාර්තාව විග්‍රහ කරන්නේ.

Image caption මිහිතලය රත්වීම නිසා කලාපයේ 'නිරන්තර ගංවතුර සහ නායයාම් ඇතිවිය හැකියි'

ස්වීඩනයේ ස්ටොක්හෝම් අගනුවර පැවැත්වෙන පරිසර සමුළුවකදී දේශ ගුණ විපර්යාශයන් පිලිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය විසින් එම වාර්තාව නිකුත් කරන ලද්දේ දින ගණනාවක් මුළුල්ලේ පැවති වාද විවාදවලින් අනතුරුවයි.

දැනට පවතින මට්ටමින් පරිසරයට කාබන්ඩයොක්සයිඩ් වායුව මුදා හැරීම සිදුවුව හොත් තත්වය පාලනය කළ නොහැකි මට්ටමක් දක්වා උග්‍ර විය හැකි බවට විද්‍යාඥයන් අනතුරු අඟවන බවයි සමුළුව වාර්තා කිරීමට එහි ගොස් සිටින බීබීසී නේපාල සේවයේ නවීන් සිං කඩ්කා සංදේශයට කියා සිටියේ.

විශේෂයෙන්ම මිහිතලය රත්වීම හේතුවෙන් දකුණු ආසියානු කලාපයට සිදු වන බලපෑම පිළිබඳව තමන් කලාපීය විශේෂඥයන්ගේ අදහස් විමසූ බවද ඔහු සඳහන් කළේය.

ධාරානිපාත වැසි ඇද හැලෙමින් මෝසම් වැසි රටාව බරපතල ලෙසින් වෙනස් විය හැකි බවටත්, වියලි කලාප තවත් දරුණු නියඟයන්ට මුහුණ පානු ඇති බවටත් වාර්තාව සකස් කිරීමට දායක වූ දකුණු ආසියානු විද්‍යාඥයෝ පවසති.

ධාරානිපාත වර්ෂාව කෘෂිකර්මාන්තයට සතුටුදායක ආරංචියක් විය හැකි වුවත්, එය නාය යාම් සහ ගංවතුර උවදුරට හේතු විය හැකි බවටද වාර්තාවේ සම්පාදකයෝ අනතුරු අඟවති.