ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කන්තලේ වැවේ 'පතල් ජාවාරමක්'

කන්තලේ මාර්ග අලුත්වැඩියා සඳහා අවශ්‍ය පස් සහ බොරළු කන්තලේ රක්ෂිත වැවෙන් ලබා ගැනීම එය විනාශ කිරීමක් බව ප්‍රාදේශීය බලධාරීහු මධ්‍යම ආණ්ඩුවට චෝදනා කරති.

රුපියල් කෝටි විසි දෙකක වියදමින් ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් ආරම්භ කොට තිබෙන ප්‍රදේශයේ ග්‍රාමීය අතුරු මාර්ග අලුත්වැඩියාව පිණිස අවශ්‍ය පස් සහ බොරළු වැවෙන් ලබා ගනිමින් තිබෙන්නේ නීත්‍යානුකූල අවසරයකින් පවා තොරව බවයි, කන්තලේ ප්‍රාදේශීය සභාවේ සභාපති කපිල නුවන් අතුකෝරල පවසන්නේ.

Image caption 'පතල් කර්මාන්තය සඳහාත් මේක ප්‍රයෝජනයට ගත්ත කියන අදහසත් තියෙනවා'

මේ අලුත්වැඩියාව සඳහා අවශ්‍ය පස් කිලෝමීටර තිස් හයක දුරකින් ලබා ගැනීමට ඇස්තමේන්තු කොට තිබියදී කිලෝමීටර තුනක් දුරුන් පිහිටි වැවෙන් පස් ලබා ගනිමින් තිබෙන බව ඔහු බීබීසී සංදේශයට කියා සිටියේය.

"මේක සංවර්ධනයක් නෙවෙයි. මේක ජාවාරමක්," යනුවෙන්ද ඔහු පැවසීය.

"කන්තලේ ප්‍රාදේශීය සභාවෙන් අහන්නෙත් නෑ, වගකිව යුතු ආයතනයකුත් නෑ."

එහෙත් එම චෝදනාව ප්‍රතික්ෂේප කරන ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී සමන් ඒකනායක පවසන්නේ වසර දෙකක පමණ කාලයක් පෞද්ගලික සමාගම් විසින් වැවෙන් බොරළු ලබා ගත් බවයි.

කවර ආකාරයේ සංවර්ධනයක් සඳහා වුවද වැවු රක්ෂිතයෙන් මෙසේ බොරළු ලබා ගැනීම 'මහා අපරාධයක්' බව කැනීම් නිරීක්ෂණය කළ පරිසරවේදී ධර්මන් වික්‍රමරත්න මාධ්‍යවේදී ආර්ජී ධර්මදාසට පැවසීය.

"පස් කැපීම පමණක් නොවෙයි. පතල් කර්මාන්තය සඳහාත් මේක ප්‍රයෝජනයට ගත්ත කියන අදහසත් තියෙනවා," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.