ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

වකුගඩු රෝග පිලිබඳ පර්යේෂණ 'වසන් කිරීමේ උත්සාහයක්'

හත් වසක් මුළුල්ලේ උතුරු මැද පළාතේ පැතිර යමින් තිබෙන වකුගඩු රෝගවලට ප්‍රධාන හේතුව ආසනික් බව හෙළි වී තිබියදීත් එය වසන් කිරීමේ උත්සාහයක් පවතින බවට රජයේ වෛද්‍යවරු චෝදනා කරති.

Image caption වකුගඩු රෝග මගින් දිනකට උතුරු මද පළාතේ ජීවිත හතරක් බිලි ගනිමින් තිබේ

වකුගඩු රෝග මගින් දිනකට ජීවිත හතරක් බිලි ගනිමින් තිබියදීත් රෝග නිධානය සොයන පර්යේෂකයන් තවමත් නිගමනයකට එළඹ නොතිබීම සැක සහිත බවයි, රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය බීබීසී සංදේශයට කියා සිටියේ.

මෙම පර්යේෂණවල නිගමණ පසුව වෙනස් කිරීම පිළිබඳවත් සිය සංගමයේ ප්‍රබල අවධානය පළ වී තිබෙන බව පවසන රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිවරයා, පර්යේෂකයන් දූෂිතයන් දැයි සැක මතු වී තිබෙන බවද කියා සිටියේය.

'මුදල් පිළිබඳ ප්‍රශ්නයක්'

"මේ මිය ගිය රෝගීන්ගේ කෙස්වල, නියපොතුවල ආසනික් තියෙනව කියල හොයා ගත්ත. ලෝක සෞඛ්‍ය සංවිධානය මීට කලින් කරපු වාර්තාවෙත් ඒක තහවුරු කරලා තියෙනව," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

එසේ තහවුරු කරනු ලැබීමෙන් අනතුරුවත්, එම සොයා ගැනීම් වැරදි බව පර්යේෂකයන් දැන් සඳහන් කිරීම සැකයට තුඩු දෙන්නක් බව පවසන වෛද්‍ය පාදෙණිය, මේ තත්ත්වය යටතේ ගැටලුවට ඉක්මන් විසඳුමක් සොයා ගැනීම පිණිස පර්යේෂණවලට මැදිහත්වීමට රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය තීරණය කළ බවද සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට යොදා ගන්නා පොහොර, කෘමි නාශක සහ වල් නාෂකවල ආසනික් අඩංගු බව දැනටමත් අනාවරණය වී ඇතැයි පවසන වෛද්‍යවරයා, ඒ සියලු අනාවරණයන් යටපත් කිරීමේ උත්සාහයක් තිබෙන බවක් පෙනී යන්නේ යයි සංදේශයට කියා සිටියේය.

එම ප්‍රතිඵල වෙනස් කිරීම 'මුදල් පිලිබඳ ප්‍රශ්නයක්' බවයි වෛද්‍යවරයා පවසන්නේ.

"මේ කියන කෘමි නාශක, වල් නාශක ලංකාවට ගෙන්වන්නේ බහු ජාතික සමාගම් සහ ලංකාවේ එකට සම්බන්ධ අය. ඒක නිසා මේක මුදල් පිලිබඳ ගැටලුවක්," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

ආසනික් ශ්‍රී ලංකාවේ පොළොවේ අඩංගු නොවන බව පවසන ඔහු, ආසනික් හේතුවෙන් එල් සැල්වදෝරය ඇතුළු මධ්‍යම ඇමෙරිකානු රටවලද වකුගඩු ආබාධ හට ගැනීමෙන් අනතුරුව එය වැළැක්වීම පිණිස බලධාරීන් පියවර ගත් බවද සඳහන් කරයි.