ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

‘පයිලින්’ (Phailin) කුණාටුව පැයට සැතපුම් දෙසිය විස්සක වේගයෙන්

ඉන්දීය බලධාරීහු හෙට සෙනසුරාදා නැගෙනහිර වෙරළ තීරයට එල්ල වීමට ඉඩ ඇති දරුණු කුණාටුව සම්බන්ධයෙන් පූර්ව ආරක්‍ෂක පියවර ගැනීමෙහි නිරත වෙමින් සිටිති.

කුණාටුව පැයට සැතපුම් දෙසිය විස්සක තරම් වේගයෙන් ඉන්දියාවේ නැගෙනහිර වෙරළ දෙසට හමා එමින් ඇති බවයි වාර්තා වන්නේ.

‘පයිලින්’ (Phailin) යනුවෙන් නම් කරනු ලැබ ඇති කුණාටුව නිසා බරපතළ හානි සිදු විය හැකි බවට අනතුරු ඇඟවීම් කරනු ලැබ තිබෙන්නේ ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔරිස්සා ප්‍රාන්තවලටයි.

අනාරක්‍ෂිත ස්ථානවල පදිංචි දෙ ලක්‍ෂයකට අධික ජනකායක් ඔවුන්ගේ වාසස්ථානවලින් දැනටමත් ඉවත් කරනු ලැබ ඇති බව වාර්තා වෙයි.

යුද හමුදා සීරුවෙන්

විපතට පත් වීමට ඉඩකඩ ඇති ජනතාවට උදව් වීම පිණිස යුද හමුදාව සීරුවෙන් තබනු ලැබ ඇති අතර, බලධාරීන් ඉන්දීය ධීවරයන්ට සහ සංචාරකයන්ට උපදෙස් දී තිබෙන්නේ මුහුදින් ඈත් ව සිටින ලෙසයි.

1999 වසරේ ඔරිස්සාවට එල්ල වූ දරුණු කුණාටුවකින් පහළොස් දහසකට ආසන්න මහජන ජීවිත විනාශයක් වාර්තා විය.

එවැනි අත්දැකීම් සහිත ඉන්දියානු බලධාරීන් කියා සිටින්නේ,මෙවර කුණාටුවෙන් මහජන ජීවිත සහ දේපොළ ආරක්ෂා කර ගැනීමට පූර්ව ආරක්ෂක පියවර ගනිමින් ඇති බවයි.