ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

උතුරු නැගෙනහිර ස්ත්‍රීන් අනාරක්ෂිතයි -බ්‍රිතාන්‍ය එකමුතුවක්

යුද්ධය හමාර වී වසර හතරක් ගත වී ඇතත් උතුරු නැගෙනහිර ජීවත් වන මුස්ලිම් සහ දෙමළ ස්ත්‍රීන් ගේ අනාරක්ෂිත භාවය නො වෙනස්ව පවතින බව බ්‍රිතාන්‍යයේ සිට ක්‍රියාත්මක වන ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් වන සුළු ජාතීන්ගේ අයිතින් සඳහා වූ එකමුතුව ප්‍රකාශ කර සිටියි.

ඔවුන් මෙම වාර්තාව නිකුත් ඇත්තේ උතුරු සහ නැගෙනහිර ශ්‍රී ලංකාවේ ස්ත්‍රීන් කොන් වීම සහ ලිංගික හිංසනයට ලක් වීම යන මැයෙන්.

උතුරු නැගෙනහිර දෙ පලාතේ රඳවා ඇති විශාල හමුදා භට පිරිස් මෙම සිදුවීම් බහුල වීමට ප්‍රධාන සාධකයක් බවයි සුළු ජාතීන් ගේ අයිතින් සඳහා වූ එකමුතුවේ අධ්‍යක්ෂ මාර්ක් ලෑටිමර් සඳහන් කර සිටියේ.

යුධ සමයේ තම ස්වාමිපුරුෂයා හෝ සමීප ඥාතීන් අහිමි වූ ස්ත්‍රීන් දහස් ගණනක්, සිදු වූ අතවර පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කිරීමට බියෙන් පසු වන බව ද මෙම වාර්තාව සඳහන් කරයි.

වැන්දඹුවන් අසු නව දහසක්

උතුරේ සහ නැගෙනහිර දිවි ගෙවන යුද වැන්දඹුවන් අසු නව දහසක් අහිමි වූ සැමියා වෙනුවන් මරණ සහතික ලබා ගත නොහැකිව අසීරුවට පත්ව සිටින බව පවසන සුළු ජාතීන් ගේ අයිතින් සඳහා වූ එකමුතුව තව දුරටත් කියා සිටින්නේ ශ්‍රී ලංකා බලධාරීන් මියගිය සංඛ්‍යා අවතක්සේරු කිරීමේ දැඩි උත්සාහයක යෙදී සිටින බවයි.

තමන් හා කතා කළ බොහෝ ස්ත්‍රීන් තම අනන්‍යතාවය හෙළි කිරීමට පවා බිය වූ භීෂණකාරී තත්වයක් පවතින බව ද සුළු ජාතීන් ගේ අයිතින් සඳහා වූ එකමුතුවේ අධ්‍යක්ෂ මාර්ක් ලෑටිමර් සඳහන් කර සිටියේය.

ලිංගික අපචාරයට ලක් වූ ස්ත්‍රීන් පනස් හය දෙනෙකු එක් මසක් තුළ යාපන රෝහලට ඇතුළු කර ඇති බව පවසන මාර්ක් ලෑටිමර් මෙම සංඛ්‍යාව මාස්පතා ඉහල යමින් ඇති බව ද ප්‍රකාශ කළේය.

යුද්ධය නිමා වීම තුළින්, එල්ටීටීඊයේ දර දඬු පාලනයෙන් මිදීම සහ බලහත්කාරයෙන් කැරලි හමුදාවට බාල වයස් කරුවන් පැහැර ගෙන යාම වැනි ප්‍රචණ්ඩ හිංසන නැවතී තිබීම මෙම ස්ත්‍රීන් වෙත සහනයක් උදා කර ඇතත්, එකල සිදු වූ අපරාධ හෝ සිදු වෙමින් පවතින හිංසන වෙනුවෙන් යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමයක් තවමත් බිහි ව නො තිබීම මෙම ස්ත්‍රීන් අසහනයට පත් කර ඇති බවයි මාර්ක් ලටිමර් තව දුරටත් ප්‍රකාශ කරන්නේ.