ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අධිවේගී මාර්ග ‘ඉදිරි ඡන්ද න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීමට සිදුවෙයි’

ශ්‍රී ලංකාවේ දෙවැනි අධිවේගී මහා මාර්ගය ජනාධිපති වරයා විසින් විවෘත කැරුණි.

කිලෝමීටර විසි පහක් ඉක්මවමින් කොළඹ සිට දිවෙන මේ මාර්ගය නිසා කැළණි පාලමේ සිට කටුනායක දක්වා ගමන් කාලය විනාඩි විස්සක් දක්වා අඩු වන බවයි රජය පවසන්නේ.

නව අධිවේගී මාර්ගය විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේ අතීතයේ දුන් මැතිවරණ පොරොන්දු ඉදිරි මැතිවරණ වල දී ඡන්ද දිනා ගැනීම සඳ හා ප්‍රමාණවත් නොවන බවයි.

'ත්‍රස්තවාදය තුරන් කිරීම, මවුබිම එක් සේසත් කිරීම, සාමය උදා කිරීම,' වැනි පොරොන්දු පමණක් නොව මාර්ග ඉදිකිරීම හා විදුලිය ලබා දීම වැනි පොරොන්දු පවා 'න්‍යාය පත්‍රයෙන් ඉවත් කළ යුතු,' බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

ඒ සියලු පොරොන්දු ඉටු කර දී ඇති බව ජනාධිපතිවරයා පැවසීය.

වියදම දෙගුණයක්

ආරම්භයේ දී රුපියල් කෝටි හාරදහසකට ආසන්න මුදලක් වැය වන බවට මුලින් ගණන් බලා තිබූ කොළඹ කටුනායක අධිවේගී මාර්ගය ඉදි කර හමාර වන විට රුපියල් කෝටි හාරදහස් පන්සියය ඉක්ම වූ බවයි නිල සංඛ්‍යා ලේඛන වල දැක්වෙන්නේ.

මාර්ග සංවර්ධන අධිකාරිය පවසන පරිදි ඊට හේතු වී ඇත්තේ 'වැඩ පරිමාව ඉහළ යාම සහ වැඩි දියුණු කළ ආරක්ෂක සැලසුම් ඇතුළු නවීන විධික්‍රම යොදා ගැනීම,' යි.

ඒ අනුව අලුත් මාර්ගයේ චීන ණය ලබාගෙන කිලෝ මීටරයක් සඳහා දරා ඇති වියදම රුපියල් කෝටි එකසිය අසූවක්.

එය විවෘත කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ විදේශ රටවලින් හොඳ දේ මෙන්ම නරක දේද ලැබෙන බවයි.

කොළඹ කටුනායක අධිවේගී මාර්ගය සඳහා කැරුණු වියදම දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ කිලෝමීටරයකට දරන ලද වියදම මෙන් දෙගුණයකට ආසන්නයි.

ආණ්ඩුවේ නායකයන් මෙන්ම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මන්ත්‍රීවරයාද උත්සව සභාවට එක් වී සිටියහ.