ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

බැංගලෝර් බස්රිය අනතුරින් ජීවිත හතළිහක් විනාශ වෙයි

බැංගලෝර් සිට හයිද්‍රාබාද් නගරය කරා ධාවනය වෙමින් තිබුණ සුඛෝපභෝගී බස් රථයක් ගිනි ගැනීමෙන් ජීවිතක්ෂයට පත් ව ඇති මගීන්ගේ ගණන අඩු තරමින් හතළිහක් වත් වන බවයි, දකුණු ඉන්දියාවෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙන්නේ.

එම වාර්තාවල දැක්වෙන ආකාරයට අනතුරට ලක් වූ බස් රියෙහි මගීන් හතළිස් නව දෙනකු ගමන් ගනිමින් සිට ඇත.

ධාවනය වෙමින් තිබුණ බස් රථය ප්‍රධාන ආරක්ෂක වැටක් කඩා ගෙන ගොස් ඇති අතර ඩීසල් ටැංකියක් පිපිරීමෙනුයි ගිනි ගැනීම සිදු ව තිබෙන්නේ.

බස් රිය ගිනි ගන්නා මොහොතෙහි මගීන්ගෙන් වැඩි දෙනා නින්දෙහි පසු වූ බවත් ප්‍රකාශ වෙයි.

‘දීවාලි’ උළෙලට යද්දී

අනතුරට පත් බස් රියේ දොරවල් අගුළු වැටී තිබුණ හෙයින් මගීන්ට එහි දොරටු විවෘත කර ගැනීමට නො හැකි වී ඇත.

එහෙත් රියැදුරා බස් රියෙන් එළියට පැන ගැනීමට සමත් වී අතර, රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ඔහුගෙන් ප්‍රශ්න කිරීමට ඉන්දීය පොලිසිය බලාපොරොත්තු වෙයි.

මරණයට පත් මගීන් අතර බැංගලෝර් නගරයේ සිට හින්දු ‘දීවාලි’ උත්සවය සඳහා සිය ගම්බිම් බලා යමින් සිටි පරිගණක මෘදුකාංග ඉංජිනේරුවන් ගණනාවක් ද සිටි බවත් ප්‍රකාශ කෙරිණ.

මරණයට පත් මගීන්ගේ නෑදෑයන් බස් රිය අයත් ප්‍රවාහන සමාගමේ කාර්යාලය අසල එක්රැස් ව සිටින බවත් වාර්තා වෙයි.