ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

තමිල්නාඩු තීන්දුවෙන් බලය බෙදීමේ ගැටළු

මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ජීවිතාන්තය දක්වා ලිහිල් කැරුණු රජීව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් නිදහස් කිරීමට තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව ගත් තීන්දුව මධ්‍යම රජය විසින් අධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමත් සමග බලය බෙදීම පිලිබඳ සාකච්ඡාවක් මතු වී තිබේ.

ඉන්දීය ආණ්ඩුව විසින් ඉදිරිපත් කෙරුණු තර්කය වුයේ සිරගත කොට සිටින හත් දෙනා වරදකරුවන් වී ඇත්තේ මධ්‍යම රජයට එරෙහි අපරාධ නිසා බව.

අද අධිකරණය විසින් තමිල්නාඩු තීන්දුව ක්‍රියාවේ යෙදවීම අත්හිටුවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ කරුණු දැක්වූ ඉන්දීය අධිකරණ අමාත්‍ය කපිල් සිබල් කියා සිටියේ ප්‍රාන්ත රජයේ තීරණය රටේ ජනතාවට වැරදි පණිවුඩයක් ලබා දෙන බවයි ඇති බවයි.

Image copyright Reuters
Image caption ඉන්දීය අධිකරණ අමාත්‍ය කපිල් සිබල්

පේරාදෙණි සරසවියේ දේශපාලන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නවරත්න බණ්ඩාර පවසන්නේ වරදකරුවන් නිදහස් කිරීමට තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් ගත් තීරණය දේශපාලනික තීන්දුවක් විනා බලතල නිසියාකාර ක්‍රියාත්මක කිරීමක් නොවන බව යි.

මධ්‍යම රජයට එරෙහි ගණයේ ලා ගැනෙන අපරාධ සම්බන්ධ වරදකරුවන් ට නිදහස ලබා දීමේ බලතල ප්‍රාන්ත සභාව සතු නොවන බවයි ඔහු පවසන්නේ.

කෙසේ වෙතත් තමිල්නාඩු රජය නියෝජනය කරන නීතිවේදී රකේෂ් ද්විවේදී පවසන්නේ වරදකරුවන් කළේ මධ්‍යම රජය ට එරෙහි අපරාධයක් වුවද දඬුවම් කාලය නිමා වී ඇති බවයි.

අවි ආයුධ පනත සහ ගමන් බලපත්‍ර පනත ආදිය යටතේ වැරදි කරුවන් වුව ද පැනවිය හැකි අවුරුදු දෙකක දඬුවම දැනට ම ගෙවා හමාර බවයි ඔහු කියා සිටියේ.

දේශපාලන වාසි

Image copyright pdn.ac.lk
Image caption මහාචාර්ය නවරත්න බණ්ඩාර

තමිල්නාඩුවේ සිටින දෙමළ විමුක්ති කොටි සංවිධානයට හිතවත් මෙන් ම ශ්‍රී ලංකාවේ දෙමළ අභිලාෂ වෙනුවෙන් පෙනී සිටින බලවත් දෙමළ කණ්ඩායම් වල සහාය ඉදිරි මැතිවරණයේ දී දිනා ගැනීම ජයලලිතාගේ අපේක්ෂාව බවයි බීබීසී යේ දකුණු ආසියා කලාපීය සංස්කාරක එදිරාජන් අන්බරාසන් පෙන්වා දෙන්නේ.

“තවත් අතකින් ගත් කළ මේ පියවර නිසා කරුණානිධි ගේ නායකත්වයෙන් යුත් ඩී එම් කේ පක්ෂය හා කොන්ග්‍රසය එකිනෙකාට සතුරු වෙනවා. ඒ පක්ෂ දෙක කොහොමද සන්ධාන ගත වන්නේ. මේ කාරණයේ දී ඔවුන් දරන්නේ මත දෙකක්.”

මෙය තමිල්නාඩු වේ ඡන්ද ඉලක්ක කොට ගෙන ජයලලිතා විසින් ගන්නා ලද පියවරක් බව ට මහාචාර්ය නවරත්න බණ්ඩාරත් එකඟ යි.

කෙසේ වෙතත්, තමිල්නාඩු තීන්දුවට එරෙහිව අධිකරණයට යාම මගින් පාලක කොන්ග්‍රස් පක්ෂයද හීන වෙමින් පවතින තම ජනප්‍රියතාව ගාන්ධිවාදීන් අතර ඉහළ නංවා ගැනීමට පියවර ගෙන ඇති බව යි ඔහුගේ පිළිගැනීම.