ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කුරාම් ඝාතනය: 'කට උත්තරය විකෘති වෙලා'

තමන් ප්‍රකාශ කළ දෑ පොලිසිය විසින් නිසි පරිදි සටහන් කර ගෙන නොමැති බවත් ප්‍රකාශ නොකළ දෑ පොලිසිය තම කට උත්තරයට ඇතුළත් කර ගෙන ඇති බවත් කුරම් ෂයික් ඝාතන නඩුවේ සාක්ෂිකාරිය අධිකරණයට පැවසුවාය.

ඝාතනය සිදුවූ තංගල්ල නිවාඩු නිකේතනයේ කළමනාකාරිනිය වන තරංගා පිරිස් මහාධිකරණය හමුවේ මේ බව කියා සිටියේ තමා පොලිසියට ලබා දුන් කට උත්තරයේ දෝෂ සහ ඌනතා රැසක් පවතින බව විත්තියේ නීතිවේදීන් පෙන්වා දුන් අවස්ථාවේදී.

නිවාඩු නිකේතනයේ පිහිනුම් තටාකය අසල දී විත්තිකරුවන් කුරම් ෂයික්ට පහර දෙනු තමන් දුටු බව සාක්ෂිකාරිය ඉකුත්දා අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණි.

එහෙත් ඒ පිළිබඳව කිසිවක් ඇය පොලිසියට ලබා දුන් කට උත්තරයේ සඳහන් කර නොමැති බවයි විත්තියේ නීතිවේදියා පෙන්වා දුන්නේ.

එම ඌනතා බරපතළ ඌනතා ලෙස සලකා ඒවා සටහන් කර ගන්නා ලෙසයි ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඒ සඳහා විනිසුරු රෝහිනී වල්ගම අවසර ලබා දුන්නාය.

වැඩිදුර හරස් ප්‍රශ්න ඇසීම හෙට (බදාදා) දිනට කල් තැබුණි.

2011 නත්තල් දිනට පෙර දින තංගල්ල නගරය අසල හෝටලයක දී කුරාම් ෂේක් ඝාතනය කළ බවට තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් පුෂ්ප විදානපතිරණට සහ සෙසු විත්තිකරුවන්ට චෝදනා එල්ල වී ඇත.