ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සම සෞඛ්‍යය ශිෂ්‍යයෝ යළිත් වීදියේ

සිව් වසරක සම සෞඛ්‍යය උපාධි පාඨමාලාව වසර තුන දක්වා අඩු කිරීමට එරෙහිව වෘත්තීය සමිති තිහක නියෝජිතයන් සමඟ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් සහභාගී වූ දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් අද බදාදා කොළඹ නගරයේ පැවැත්වුණි.

දහසකට අධික මහජන සහභාගිත්වයෙන් කොළඹ ජාතික රෝහල අසලින් ආරම්භ කෙරුණ විරෝධතා ව්‍යාපාරය අවසන් වුණේ කොටුව දුම්රිය ස්ථානය අසලිනි.

සම සෞඛ්‍යය උපාධි පාඨමාලාව යළිත් වසර හතරක් බවට පත් නොකළොත් ඉදිරි කාලයෙහි සෞඛ්‍යය ක්ෂේත්‍රයේ දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් කැඳවන බවයි විරෝධතාවාදීන් කියා සිටියේ.

සම සෞඛ්‍යය උපාධියෙහි අධ්‍යයන කාල සීමාව වසර හතරෙහි සිට වසර තුන දක්‌වා අඩු කිරීමට විරෝධය පළ කරමින් සිසුන් විසින් ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට අද වන විට දින 155 ක්‌ සම්පූර්ණ වෙයි.

හෙද සහයෝගය

මාස පහකට අධික කාලයක් ගත වී ඇති මෙම ප්‍රශ්නයට නිසි විසඳුමක් ලබා දීමට අධ්‍යාපන හා සෞඛ්‍යය බලධාරීන් කටයුතු නොකිරිම හේතුවෙන් තමන් ද සිසුන් සමග එක් වූ බවයි, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය සංදේශයට කියා සිටියේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බලපෑම මත මෙම උපාධිය කප්පාදු කිරීමට බලධාරීන් කටයුතු කළ බවට සමන් රත්නප්‍රිය චෝදනා කරයි.

රජයේ භෞත චිකිත්සක සංගමයේ ධම්මික පද්මසිරි පවසන්නේ ජාත්‍යන්තරය පිළිගත් උපාධියක් ශ්‍රී ලාංකික විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට ලබා දීමට අවශ්‍ය නම් මෙම පාඨමාලාව වසර හතරක් තෙක් දිගු කල යුතු බවයි.

සියලු විශ්ව විද්‍යාලවල සම සෞඛ්‍ය උපාධිය හදාරන සිසුන් මේ වනවිට අධ්‍යාපන කටයුතුවලින් ඉවත් වී ඇති බව අනතර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සරත් ද සිල්වා සංදේශයට ප්‍රකාශ කළේය.

දේශපාලන බලපෑමක්

මෙම උපාධි කප්පාදුව සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එල්ල වන චෝදනා පිළිබඳව සංදේශය එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නලින්ද සොයිසාගෙන් විමසූ විට දේශපාලන පක්ෂයක් විසින් දේශපාලන හේතු මත ශිෂ්‍යයන් නොමග යවමින් ඇති බවයි ඔහු කියා සිටියේ.

පාඨමාලාවක ගුණාත්මකභාවය කාලය මත රඳා පැවතුණේ අතීතයේ බව නලින්ද සොයිසාගේ අදහසයි.