ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

‘තංගල්ල භීෂණ නගරයක්’ - එජාප

අද තංගල්ල කිසිදු නීතියක් බල නොපැවැත්වෙන තත්වයක් යටතේ නාඳුනන තුවක්කු කරුවන් විසින් මහා දවල් මිනිස් ඝාතන සිදු කෙරෙන නගරයක් බවට පත්ව ඇතැයි එක්සත් ජාතික පක්ෂය කියා සිටියි.

පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර එම ප්‍රකාශය කළේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැත්වුන මාධ්‍ය හමුවකදී.

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික නිවස පිහිටි අධි ආරක්‍ෂිත කලාපයක්ද වන තංගල්ල නගරයේ මහ දවාලේ නාඳුනන තුවක්කු කරුවන් වසින් ඝාතන සිදු කර පළා යාමට හැකිව තිබෙන්නේ ඝාතකයන්ට රජයේ ඉහළම පුද්ගලයන්ගේ ආශීර්වාදය හිමිව තිබෙන නිසා යයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර වැඩිදුරටත් කියා සිටියි.

මහ දවල් ඝාතන

“ඊයේ මහ දවල් තංගල්ල නගරයේ බස් නැවතුම් පොලේ දී ඔළුවට වෙඩි තියල පුද්ගලයෙක් ඝාතනය කළා. අපි දන්නවා නැවතුම් පොල තියෙන්නේ ජනාධිපතිවරයාගේ නිවස පේන තෙක් මානයේ. එතන හැම වෙලේම පොලිසිය, හමුදාව හා ඔත්තු අංශ ඉන්නවා. ඒත් ඝාතකයෝ පහසුවෙන් පැනල යනවා”මංගල සමරවීර මන්ත්‍රීවරයා පවසයි.

ඊයේ තංගල්ලේ දී ඝාතනය කෙරුණ තරුණයා මෙන්ම ඔහුගේ මිතුරා වූ පසුගිය දා තංගල්ල උසාවි භුමියේදී වෙඩි පහරින් තුවාල ලබා බේරුණ අමිල රාජපක්ෂ තරුණයා එම තත්වයකට මුහුණ දෙන්නේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නිල් බලකායේ සේවය කොට ඉන් ඉවත්ව ඔහු විවේචනය කරමින් සිටින පසුබිමක බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

ආණ්ඩුවේ ප්‍රතිචාරය

Image copyright AP

ඉහත කී ප්‍රහාර දෙකට ප්‍රථම තංගල්ලේදී බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ඝාතනය කිරීම ඇතුළු අපරාධ ගණනාවක්ම වාර්තා වී ඇති බව පවසන මංගල සමරවීර මන්ත්‍රීවරයා, ඒවාට වගකිව යුතු අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන්නේ කුමක් නිසාදැයි ප්‍රශ්න කරයි.

මංගල සමරවීර මන්ත්‍රීවරයා නගන චෝදනා පිළිබඳව විමසීමට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සම්බන්ධ කර ගැනීමට බීබීසී සංදේශය ගත් උත්සාහය අසාර්ථක විය.

පොලිසියට එල්ල වෙන චෝදනා පිළිබඳව සංදේශය පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණගෙන් විමසීමක් කළ අතර ඔහු තංගල්ල නගරයේ ඝාතන රැල්ලක් ඇති බවට නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කරයි.

මුලින් කී අපරාධ දෙක සිදු කරන ලද බවට සැක කෙරෙන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පැවැත්වෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ පවසන්නේ.

මංගල සමරවීර මන්ත්‍රීවරයා නගන චෝදනා පිළිබඳව සංදේශය අමාත්‍ය මණ්ඩල මාධ්‍ය හමුවේ දී රජයේ ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් විමසීමක් කළ විට ඇමතිවරයා කියා සිටියේ සාක්ෂි ඇත්නම් ඒ ගැන පොලිසියට දැනුම් දෙන ලෙසයි.

“මංගල සමරවීර මන්ත්‍රීවරයා කරන්නේ බරපතල චෝදනාවක්. සාක්ෂි හැංගීමත් නීති විරෝධියි, ඕනෑම වේලාවක ලඟම තියෙන පොලිස් ස්ථානයට ගොස් ඒ කරුණු ඉදිරිපත් කරලා සාක්ෂි ඉදිරිපත් කරන්න පුළුවන්” කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා කියා සිටියි.