ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

තවත් යුද්ධයකට මැදි වුන මාවිල් ආරු

දෙදහස් හය වසරේ දී එල්ටීටීඊ සංවිධානය විසින් වසා දැමුණු මාවිල් ආරු සොරොව්ව මාස කිහිපයකදී යලි විවෘත කිරීමට රජයේ හමුදා සමත් වූහ.

එම වකවානුවේ මාවිල් ආරු සොරොව්ව වැසීමේ සිදුවීම නිම වූයේ දෙදහස් නවයේදී එල්ටීටීඊ සංවිධානය පරාජය කර ආණ්ඩුවේ හමුදා යුද්ධය ජයග්‍රහණය කරමින්.

එහෙත් දැඩි නියඟය හේතුවෙන් ජලය ලබා ගැනීම සඳහා වූ යුද්ධයකට දැන් මාවිල් ආරු වැසියෝ මුහුණ දී සිටිති.

මාවිල් ආරු සිට කිලෝ මීටර හතළිහක් පමණ ඈතින් ගලා යන මහවැලි ගංගාවේ අතු ගංගාවකින් අමුණට ජලය ලැබේ.

අමුණට ජලය ලැබෙන ස්ථානය කන්දකාඩු නමින් හැඳින්වේ.

චෝදනා

සේරුවිල එල්බී දෙක යායේ ගොවි නියෝජිත ඩික්සන් ලියනගේ පවසන්නේ මහවැලි ගංගාවේ ජලය හිඟ කම හේතුවෙන් ගොවියන් මාවිල් අරුවට ජලය ලැබෙන කන්දකාඩුවට ගොස් ගඟ හරහා වැලි කොට්ට ගාසා ජලය හරවන බවයි.

ජලය නොමැති කමින් විනාශ වූ කුඹුරු හා වගා නොකර පුරන් වූ කුඹුරු විශාල වශයෙන් එම ප්‍රදේශයේ දැකිය හැකියි.

යුද සමයේ සිදු වූ බෝම්බ ප්‍රහාරයන්ට හසුව ජලාශ බැම්ම බිඳී ඇති අතර මේ වන විට ජල පාලක දොරටු වෙනුවට කොන්ක්‍රීට් දමා එම පාලක දොරටු වසා දමා තිබේ.

මෙම ගැටලුව සම්බන්ධයෙන් බලධාරීන්ගේ නිසි අවධානය යොමු වී නැති බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.

සේරුවිල, වෙරුගල් හා මුත්තූර් යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය කරමින් එක්දහස් නවසීය පනස් තුන වසරේ ආරම්භ කළ අල්ල ගොවි ජනපදය මාවිල් ආරු ජලයෙන් පෝෂණය ලබයි.

අක්කර දහස් ගණනක්

අල්ල ගොවි ජනපදයේ සමාජ ක්‍රියාධරයකු වන වසන්ත කුමාර පෙන්වා දෙන්නේ ආරම්භක සැළසුම් ක්‍රියාත්මක කරන්නේ නම් තවත් කුඹුරු අක්කර දහස් ගණනක් මාවිල් ආරු ජලයෙන් පෝෂණය කළ හැකි බවයි.

ජලය නැති කමින් ප්‍රදේශවාසීන් සියලු දෙන මහත් අසීරු තත්වයකට මුහුණ පා ඇති බවයි දෙමළ ජාතික සන්ධාන පාලනය සතුව තිබෙන වෙරුගල් ප්‍රාදේශීය සභාවේ සභාපති චන්ද්‍රපාල් විජයකාන්ත් පවසන්නේ.

මෙම තත්වය විසඳීමට ගෙන ඇති නව යෝජනා සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹ නැති බව නැති බව මුත්තූර් කොට්ඨාශය බාර වාරි ඉංජිනේරු එස් රාජකුමාර් කියා සිටියේය.