ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඊශ්‍රායල් ප්‍රහාර හමුවේ ශ්‍රී ලංකා ආණ්ඩුව නිහඬ බවට චෝදනා

ඊශ්‍රායලය විසින් දිගින් දිගටම ගාෂා තීරයට එල්ල කරන ප්‍රහාර මගින් සාමාන්‍ය ජනතාව මරා දමනු ලැබීමට එරෙහිව බ්‍රහස්පතින්දා කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් දියත් කෙරුණි.

එම විරෝධතා ව්‍යාපාරය කැඳවා තිබුණේ වාමාංශික පක්ෂ, වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන මගිනි.

එම විරෝධතා ව්‍යාපාරයට සහභාගී වූ නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න අදහස් දක්වමින් කියා සිටින්නේ, ඊශ්‍රායලය ගෙන යන යුද්ධය ලෝක ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති බවයි.

එදා පලස්තීන සහයෝගීතා ව්‍යාපාරයේ ශ්‍රී ලංකා කමිටුවේ නායකයාව සිටි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලය ලද පසු අද එම ජනතාව පාවා දී ඇති බවයි, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න වැඩිදුරටත් කියා සිටින්නේ.

එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය ජනතාව අමතමින් කියා සිටියේ, ඊශ්‍රායලය ඇමෙරිකාවේ ද ආධාරය ඇතිව ගාෂා තීරයට පහර දෙමින් සිටිය දී පලස්තීන සහයෝගීතා කමිටුවේ සභාපතිවරයාව සිටි ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අද නිහඬව සිටින බවයි.