ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මහේල;'සමු ගන්නා දැවැන්තයා'

ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර හෙට බ්‍රහස්පතින්දා ආරම්භ වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟය සුපිරි පිතිකරු මහේල ජයවර්ධන ක්‍රීඩා කරන අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟය ලෙස ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසයට එක්වනු ඇත.

ටෙස්ට් ක්‍රිකට් තරඟ 148 කදී මහේල ටෙස්ට් ශතක තිස් හතරක් වාර්තා කර ඇත.

මහේල ජයවර්ධන වාර්තා කළ ටෙස්ට් ශතක තිස් හතරින් දාහතක් ම ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත් තරඟ වෙති.

ඔහු ශතක වාර්තා කළ තරඟ අතරින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වී ඇත්තේ තරඟ පහකින් පමණි.

මහේල ගේ විශිෂ්ටතම ටෙස්ට් ඉනිම 2006 වසරේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව ලබාගත් ලකුණු 374 යි , බොහෝ දෙනාගේ මතකයට නැගෙන්නේ.

එම ඉණිම ලෝකයේ දකුණත් පිති කරුවකු විසින් මෙතෙක් වාර්තා කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාවයි.

එහෙත් එම තරඟයේ දී මහේල ජයවර්ධනට අනගි සහයක් දුන් කුමාර් සංගක්කාරට අනුව මහේල ගේ විශිෂ්ටතම ටෙස්ට් ඉනිම් අතර ඔහු ලන්ඩනයේ ‘ලෝර්ඩ්ස්’ පිටියේ දී ලබා ගත් ශතක විශේෂත්වයක් හිමි කර ගනියි.

පීඩනය හමුවේ පසු නොබැසීම

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයකු වන සනත් ජයසූරියට අනුව මහේල ගේ විශේෂත්වය වන්නේ පීඩනය හමුවේ ඔහුට ලකුණු රැස් කිරීමට ඇති හැකියාවයි.

ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත්ට අනුව මහේල ජයවර්ධන දකුණු අප්‍රිකාවට එරෙහිව ලබාගත් ලකුණු 374 ඔහුගේ විශිෂ්ටතම ඉනිමයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායක ලහිරු තිරිමාන්න මහේලගේ විශිෂ්ට ඉනිම් අතරින් අගය කරන්නේ ඔහු 2006 වසරේ ‘ලෝඩ්ස්’ පිටියේ දී වාර්තා කළ ශතකයයි.

වේග පන්දු පුහුණුකරු අනුෂ සමරනායක, වේග පන්දු යවන ක්‍රීඩකයන් වන ධම්මික ප්‍රසාද් සහ ෆර්විස් මහරුෆ් යන තිදෙනාම මහේලගේ ලකුණු 374 ඉනිමයි ඔහුගේ සුපිරි ඉනිම හැටියට දකින්නේ.

ශ්‍රී ලංකා ක්‍රීඩක කෞෂාල් සිල්වා,සිය ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක මහේලගේ ඉනිම් අතරින් වඩාත් අගය කරන්නේ, මේ වසර මුලදී ආබාධිත තත්වයේ පසු වෙමින් සිටියදීත් ඔහු පකිස්ථානයට එරෙහිව ලබාගත් ශතකයයි.