ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'පැය හයක් තුළ කාර්යාල දහ අටකට ප්‍රහාර'

මොනරාගල, බිබිල ඡන්ද බල ප්‍රදේශයේ එක් රැයක් තුළ විපක්ෂයේ පක්ෂ කාර්යාල 18 කට ප්‍රහාර එල්ල වීමත් සමගම ප්‍රදේශයේ ඡන්දදායකයන් සහ දේශපාලන ක්‍රියාකාරිකයන් දැඩි ලෙස බියට පත් වී සිටින බව නිදහස් සහ සාධාරණ මැතිවරණයක් උදෙසා වූ කැෆේ සංවිධානය පවසයි.

ඉරිදා රාත්‍රියේ එල්ල වූ මෙම ප්‍රහාර මාලාවට එජාපයේ කාර්යාල 13 ක්, ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාල 4 ක් සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ කාර්යාලයක් ගොදුරු වී ඇති බවයි කැෆේ සංවිධානය වාර්තා කරන්නේ.

මේ අතරතුර බිබිල මොනරාගල පාරේ පිහිටි කණුල්වල එජාප කාර්යාලය පවත්වා ගෙන ගිය මොහොමඩ් නසීර්ගේ නිවසට පැමිණි ආයුධ සන්නද්ධ පිරිසක් ‘නැවත පක්ෂ කාර්යාල පිහිටුවන්නේ නම්’ මරා දමන බවට තර්ජනය කළ බව ද වාර්තා විය.

'පැය හයක් තුළ'

අලුයම ආරම්භ වූ මෙම ප්‍රහාර මාලාව පැය හයකට වැඩි කාලයක් තුළ සිදු වී ඇති අතර ප්‍රහාරය එල්ල කළ පිරිස බිබිල පොලිස් බල ප්‍රදේශයේ නිදහසේ සැරි සරමින් මෙම ප්‍රහාර මාලාව දියත් කොට ඇති බව ද කැෆේ සංවිධානයේ රජිත් කීර්ති තෙන්නකෝන් කියා සිටියේය.

මේ පිළිබඳව බීබීසීයේ තිසර රතුවිතාන කළ විමසීමකදී පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියේ ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති නමුත් අනවසරයෙන් තැන් තැන්වල සැරසිලි කර කාර්යාල පවත්වා ගෙන යාම අනුමත කළ නොහැකි බවයි.

ඉරිදා දිනය මෙවර මැතිවරණයේ මෙතෙක් වැඩිම ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වූ දිනය වූ අතර මොනරාගල, බිබිල ඡන්ද බල ප්‍රදේශයෙන් පමණක් පැමිණිලි 18 ක් වාර්තා වී තිබේ.

උද්ඝෝෂණ

මේ අතරතුර ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය කොටුව දුම්රිය පළ ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

පක්ෂ නායක ජෙනරාල් සරත් ෆොන්සේකාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උද්ඝෝෂණයේ අරමුණු පැහැදිලි කරමින් බීබීසීයට කතා කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ කියා සිටියේ පවතින රාජ්‍ය බලපෑම් ඉදිරියේ පොලිසිය සහ මැතිවරණ කොමසාරිස්වරයා අසරණ වී ඇති බවයි.

පවතින චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර ලබා ගැනීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයා ඇමතීමට බීබීසීය ගත් උත්සාහය සාර්ථක වූයේ නැත.