ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඌව මැතිවරණයට සියල්ල සූදානම්

  • 2014 සැප්තැම්බර් 19

හෙට, සෙනසුරාදා පැවැත්වෙන ඌව පළාත් සභා මැතිවරණයට සියල්ල සූදානම් බව මැතිවරණ මහා ලේකම් කාර්යාලය පවසයි.

ජන්ද මධ්‍යස්ථාන 834 ක දී හෙට පෙරවරු 07 සිට පස්වරු 04 දක්වා ඡන්ද විමසීම සිදු කෙරේ.

ඌව පළාත් සභාව සඳහා මන්ත්‍රීවරුන් 32 කු තෝරා ගැනීමට නියමිතයි.

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය අද සිකුරාදා බදුල්ල දිස්ත්‍රික්කයට පැමිණ මැතිවරණ සූදානම ගැන සොයා බැලූ බවයි දිස්ත්‍රික්කයේ සංචාරය කළ අප වාර්තාකරු ප්‍රසාද් පූර්නිමාල් ජයමාන්න පැවසුවේ.

පෝස්ටර්

අද සිකුරාදා පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව ඇතිව රිදීමාලියද්ද, මහියංගනය, ආඳාඋල්පත ඇතුළු ප්‍රදේශ කිහිපයක ප්‍රධාන ස්ථානවල අලවා තිබූ පෝස්ටර් ඉරා දමනු ලැබූ බව ඔහු පැවසුවේය.

දිස්ත්‍රික්කයේ බොහෝ දෙනෙකු මැතිවරණය ගැන කථා කිරීම ප්‍රතික්ෂේප කළ බව පැවසූ වාර්තා කරු ප්‍රසාද් පූර්නිමාල් ජයමාන්න කියා සිටියේ හෙට දිනයේ කුමක් සිදුවේදැයි සිතා ගැනීමට නොහැකි බව තමන්ට කිහිප දෙනකු පැවසූ බවයි.

නොමිලයේ නීති ආධාර

ඌව පළාත් සභා මැතිවරණ රාජකාරියේ නිරතවන රජයේ නිලධාරීන්ට ස්වාධීනව සහ අවංකව සිය මැතිවරණ රාජකාරී ඉටු කරන ලෙස ට්‍රාන්ස්පෙයරන්සි ශ්‍රී ලංකා ආයතනය ඉල්ලා සිටියි.

එසේ රැකියාව නිසියාකාරව ඉටුකිරීමට යාමේදී කිසියම් බලපෑමක් හෝ තර්ජනයක් හෝ එල්ලවීමෙන් අනතුරුව රැකියාවට ප්‍රශ්නයක් ඇතිවුවහොත් නීතිමය පියවර ගැනීම සඳහා තමන් නීති ආධාර සපයන බව ට්‍රාන්පෙයරන්සි ශ්‍රී ලංකා ආයතනය ප්‍රකාශ කරයි.

මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන ආකාරය සංදේශයට පැහැදිලි කළ ට්‍රාන්ස්පෙයරන්සි ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂක සුදත් රනුග්ගේ පැවසුවේ තම ආයතනය සහ තවත් ආයතන කිහිපයක නීතිඥයන් නොමිලයේ නීති ආධාර ලබා දීමට එකඟවී සිටින බවයි.