ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

තහනම බිඳ රාජිනී සමරුව පෙරට

ආචාර්ය රාජිනී තිරාණගම අනුස්මරණ ය කිරීම සඳහා ඉරිදා යාපනයේ සංවිධානය කර තිබුණ සමරු උළෙලට බලධාරීන් විසින් තහංචි පනවනු ලැබ තිබුනත් අනුස්මරණ කමිටුව සිය සැලසුම් පෙරට ගෙන යමින් ඇති බවයි යාපනයෙන් වාර්තා වන්නේ.

මානව හිමිකම් ක්‍රියාධාරිනියක සහ නිදහස් මතධාරිනියක වූ ආචාර්ය රාජිනී තිරාණගම 1989 සැප්තැම්බර් මාසයේ විසි එක් වෙනි දින යාපනයේ දී වෙඩි තබා මරා දමන ලද අතර මෙවර පැවැත්වෙන්නේ විසිපස් වෙනි සමරු උළෙලයි.

ආචාර්ය රාජිනී තිරාණගම ඝාතනය කෙරෙන විට ඇය වෘත්තියෙන් යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්ය වරියක වූවාය.

ආචාර්ය රාජිනී තිරාණගම අනුස්මරණ කමිටුවේ සාමාජික අහිලන් කදිරගාමර් බීබීසී සංදේශයට ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, අංග තුනකින් සමන්විත වූ සමරු වැඩ සටහන නියමිත පරිදි පෙරට ගෙන යාම බලධාරීන් විසින් වලක්වන ලද බවයි.

සරසවියත් තහනම්

යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ දේශනයක් එහිම කෛලාසපති ශාලාවේ සම්මන්ත්‍රණයක් සහ සාමකාමී පාගමනක් අපේ වැඩ සටහනට ඇතුලත් වුනා. එහෙත් හදිසියේම සරසවි බලධාරීන් අපට දැනුම් දුන්නේ එම වැඩ සටහන් නතර කළ යුතු බවයි. පොලිසිය පාගමන නතර කරන ලෙස දැනුම් දී තිබෙනවා” අහිලන් කදිරගාමර් පවසයි.

අනුස්මරණ කමිටුවේ ආරාධනයෙන් රාජිනීගේ සැමියා වන දයාපාල තිරාණගම දකුණේ සිට සිය බිරිඳගේ සමරු වැඩ සටහනට හවුල් වීමට දින කීපයක් කල් ඇතිව යාපනයට ලඟා වී සිටි අතර සමරු වැඩ සටහනට තහංචි පැනවීම සම්බන්ධයෙන් ඔහු සිය කනස්සල්ල පළ කරයි.

එම තහංචිය මගින් දෙන පණිවුඩය යාපනයේ අද පවතින ප්‍රජාතන්ත්‍රවාදයේ මට්ටම වන බවත් දයාපාල තිරාණගම පෙන්වා දෙයි.

විකල්ප සැලැස්මක්

බලධාරීන් විසින් තහංචි පනවා ඇති නමුත් නීතිය කඩ නොකර සිය සමරු උළෙල පෙරට ගෙන යන බවයි අහිලන් කදිරගාමර් බීබීසී සංදේශයට කියා සිටියේ.

“යාපනයේ ජනතාව මේ අනුස්මරණ වැඩ සටහන පෙරට ගෙන යාමට ලොකු උනන්දුවක් දක්වනවා. ඔවුන් කාගේත් උවමනාව ආචාර්ය රාජිනී තිරාණගම සැමරීම. ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින හැම සංවිධානයක ම උනන්දුව ආචාරය රාජිනී තිරාණගම සැමරීමයි. ඒ නිසා අපි නතර වෙන්නේ නැහැ. පා ගමන හැරුණ විට අපි අපේ වැඩ සටහන වෙනත් තැන්වල ක්‍රියාවට නංවනවා” ඔහු කියා සිටියි.

ඒ අනුව අද සෙනසුරාදා (20) උදේ වරුවේ යාපනය Trimmer දේවස්ථාන ශාලාවේ රාජිනී තිරාණගම සමරු රැස්වීමක් පැවැත්වුනි.

එම අවස්ථාවට යාපනයේ ජනතාවට අතිරේකව දකුණ පලාතෙන් සහ මධ්‍යම කඳුකරයෙන් නියෝජිතයන් විශාල පිරිසක් සහභාගී වූ බවයි, ආචාර්ය රාජිනී තිරාණගම අනුස්මරණ කමිටුව පවසන්නේ.

ඊට අමතරව සෙනසුරාදා සවස් වරුවේ යාපනය ‘වීරසිංහම්’ ශාලාවේ සංස්කෘතික සංදර්ශනයක් ද පැවැත්වුනි.

ඉරිදා යාපනය පුස්තකාල ශාලාවේ සංවිධානය කර තිබුණ සම්මන්ත්‍රණයට ද බලධාරීන් තහංචි පනවා ඇති බවත් අනුස්මරණ කමිටුව පවසයි.

'බිඳුණ තල්රුක'රාජිනී තිරාණගම ඇතුළු විද්වතුන්ගේ සංවාදාත්මක කෘතියයි.