ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

“ජනතාව නොමග යැවීමේ හොර අත්සන් ගැසූ කූඨ ලියවිලි”

තම අත්සන් ව්‍යාජ ලෙස යොදා ගනිමින් සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක විසින් ලේඛනයක් සකස් කොට ඇති බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන පවසති.

මෙය විශේෂයෙන් රාජ්‍ය සේවකයන් සහ ජනතාව නොමග යැවීමට ගත් උත්සාහයක් බව පවසන ඔවුන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටි බවයි අද මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ.

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පැවසුවේ තමාත් විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනත් අතර එකඟත්වයකට පැමිණ ඇති ප්‍රධාන කරුණු ඡන්ද ප්‍රකාශනයට ඇතුළත් කොට ඇති බවත්, කිසිවක් සඟවා නැති බවත්.

අපරාධයක්

ව්‍යාජ ලෙස අත්සනක් තැබීම අපරාධයක් නිසා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස තමන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

වත්මන් සෞඛ්‍ය ඇමති තිස්ස අත්තනායක රජයට එක් වීමට පෙර දැන සිටියේ තමා සහ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන අතර ගිවිසුමක් අත්සන් තබන බව පමණක් බවත් ඊට වඩා යමක් ඔහු නොදැන සිටි බවත් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කියා සිටියේය.

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මාධ්‍ය හමුවට එක් වෙමින් නැගෙනහිර පළාත් සභාවේ සභා නායක ප්‍රියන්ත පතිරණ පොදු විපක්ෂයට එක් වෙන බව ප්‍රකාශ කළේය.

නැගෙනහිර පළාත් සභාවේ සභා නායක ප්‍රියන්ත පතිරණ මන්ත්‍රීවරයා යුද්ධය පැවති කාලය තුළ රට සහ ජාතික ආරක්ෂාව වෙනුවෙන් තිරය පිටුපස සිට විශාල මෙහෙයක් ඉටු කළ බවයි පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළේ.

නොමග යැවීම

සෞඛ්‍ය ඇමති තිස්ස අත්තනායක මාධ්‍ය වලට ප්‍රකාශ නිකුත් කරමින් සහ “මෙන්න රාජ්‍ය සේවකයනි තිත්තම ඇත්ත” යනුවෙන් පුවත්පත්වල අතිරේක පල කරමින් සිදු කොට ඇත්තේ රජයේ සේවකයන් නොමග යැවීමට උත්සාහ දැරීමක් බව විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන පැවසුවේය.

පුවත් පත් වල පල කොට ඇති කූට ප්‍රකාශනයේ තමන් සහ විපක්ෂ නායකයා අත්සන් තබා ඇත්තේ 2014 නොවැම්බර් 1 දා ලෙස සඳහන් කොට ඇතත් තමන් රජයෙන් ඉවත් වූයේ නොවැම්බර් 21 වැනිදා බවයි ඔහු පෙන්වා දෙන්නේ.

නොවැම්බර් 1 දා වන විට අඩු වශයෙන් ආණ්ඩුවෙන් ඉවත් වෙනවාද නැද්ද යන්න පිළිබඳව තීන්දුවක් හෝ ගෙන නොතිබුන බවයි විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන තවදුරටත් ප්‍රකාශ කළේ.