x
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ජයග්‍රහණය විශ්වාසයි - මෛත්‍රී, රනිල්

මෙවර ජනාධිපතිවරණයේ දී ජනතාව නිවැරදි තීන්දුව ගන්නා බව තමන් විශ්වාස කරන බව විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන කියා සිටී.

ඔහු අද, බ්‍රහස්පතින්දා උදැසනින්ම පොලොන්නරුව නව නගරය විද්‍යාලෝක විහාරස්ථානයේ දී සිය ඡන්දය ප්‍රකාශ කළේය.

ජයග්‍රහණයේ කිසිදු ගැටළුවක් නොමැති බවයි, සංදේශයේ තක්ෂිලා දිල්රුක්ෂි , දුරකථනයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා තවදුරටත් කියා සිටියේ.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 288 ක් තුළ ඡන්ද විමසීම සිදු කෙරිණ.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව තුන් ලක්ෂ හත්දහස් එක සිය විසි පහක්.

මධ්‍යස්ථාන තිස් දෙකක ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදු කෙරේ.

විපක්ෂ නායක

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කොළඹ දී සිය ඡන්දය ප්‍රකාශ කරමින් පැවසුවේ පොදු විපක්ෂයේ ඉල්ලීමට අනුව ජනතාව උදෑසනින්ම පැමිණ වෙනසක් සඳහා සිය ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි.

බලාපොරොත්තු වන එම වෙනස ඇති කිරීම සඳහා ජනතාව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බවට පත් කරන බවට තමන්ට විශ්වාස බවත් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.