ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ගෝඨා, බැසිල්ට එරෙහිව මර්වින්ගෙන් පැමිණිලි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට සහ ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂට විරුද්ධව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ඉන් අනතුරුව මාධ්‍යවේදීන් ඇමතූ ඔහු කියා සිටියේ ඉකුත් රජය යටතේ ඔවුන් විසින් සිදු කෙරුණු දූෂණ, වංචා සහ අපරාධ පිළිබඳ තොරතුරු සම්බන්ධයෙන් තමා පැමිණිලි කල බවයි.

මෙය පලිගැනීමක් නොවන බව කියා සිටි ඔහු බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයාත් හා ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂා ලේකම්වරයාත් තමන්ගෙන් පෞද්ගලිකව පලි ගත් බව පැවසුවේය.

සුදු වෑන් සංස්කෘතිය

පසුගිය කාලයේ සිදුවූ ප්‍රධාන පෙළේ ඝාතන කිහිපයකට හිටපු ආරක්ෂක ලේකම්වරයා වගකිව යුතු බව පැවසූ ඔහු සුදු වෑන් සංස්කෘතියේ නියමුවාත් හිටපු ආරක්ෂක ලේකම්වරයා බවයි කියා සිටියේ.

ජාතික රූපවාහිනියට එල්ලවන තරම් චෝදනා තමන්ට එල්ලවන්නේ නැති බව මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේය.

මැතිවරණ කාලය තුල ජාතික රුපවාහිනිය ඉතා නින්දිත ආකාරයෙන් කටයුතු කල බවටත් මාධ්‍ය සදාචාරය සම්පුර්ණයෙන්ම විනාශ කල බවටත් මර්වින් සිල්වා හිටපු ඇමතිවරයා චෝදනා කළේය.