ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

තනිවම තරඟ කරනවා - ජෙනරාල් ෆොන්සේකා

ඉදිරි මහා මැතිවරණයෙදී තම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තනිවම තරඟ කරන බව හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා අද, අඟහරුවාදා මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කළේය.

තමන් අසාධාරණ ලෙස සිරගත කිරීමට දායකවූ සහ ජනාධිපතිවරණය අවසානයේ කුමන්ත්‍රණයක් කිරීමට සැලසුම් කළ බව පැවසෙන ත්‍රිවිධ හමුදාපතිවරුන් ඉවත් කළ යුතු බවත් ඔහු පැවසුවේය.

තමාට එල්ල වී තිබූ චෝදනා වලින් නිදහස් වීමත් සමග තමාට හිමි පාර්ලිමේන්තු ආසනය ලබා දීම ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා මග හරින බවත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ජෙනරාල් සරත් ෆොන්සේකා සඳහන් කළේය.

ජනාධිපතිවරණයට පෙර පොරොන්දු වූ පරිදී දුෂණ චෝදනා ලබා සිටින පුද්ගලයන්ට නිසි දඬුවම් ලබා දෙන බවයි හිටපු හමුදාපතිවරයා කියා සිටියේ.

තමා ඇතුළු තම පවුලේ සාමාජිකයන් දේශපාලන පලි ගැනීම්වලට ලක් වන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජෙනරාල් සරත් ෆොන්සේකා හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සඳහා හමුදා නිලධාරීන් සිය දෙනකු ලබා දී ඇති බවත් ඊට අමතරව නිවාස ආදී පහසුකම් ලබා දී ඇති බවත් පැවසුවේය.