ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'ජන සංහාරයට පරීක්ෂණයක්' උතුරෙන් යෝජනාවක්

උතුරේ ජන සංහාරයක් සිදු වී ඇති බවට සාක්ෂි ඇති බව පවසන උතුරු පළාත් සභාව ඒ සඳහා ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට යෝජනාවක් සම්මත කර ගනී.

යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ උතුරු පළාත් මහ ඇමති සී වී විග්නේස්වරන් විසිනි.

යුද සමයේ අවසන් කාල වකවානුවේදී උතුරේ දෙමළ ජනතාව රජයේ ආරක්ෂක හමුදාවන් අතින් සමූල ඝාතනයකට ලක් වූ බව පවසන උතුරේ මහ ඇමතිවරයා කියා සිටියේ එය තමන් කිසිසේත් අනුමත නොකරන බවයි.

රාජිත සේනාරත්න

ජන සංහාරයක් සිදු වූ බවට කරන ප්‍රකාශය කිසිසේත්ම පිළිගත නොහැකි බවයි රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසන්නේ.

යුද්ධයේ දී විශාල ජන සංඛ්‍යාවක් ඝාතනයට ලක් වූ බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවට ජාත්‍යන්තරයට ප්‍රකාශ කොට ඇති බවත් කියා සිටි රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න තව දුරටත් කියා සිටියේ ජාත්‍යන්තරයත් ඊට එකඟවී ඇති බව යි.

ජන සංහාරයක් සිදු වූ බව ප්‍රකාශ කළ හැක්කේ හිතා මතා සිදු කළ ජීවිත විනාශයකට පමණක් බවයි ඔහු පැවසුවේ.

යුද්ධයේ දී එල්ටීටීඊ සංවිධානය විසින් මිනිස් පලිහක් ලෙස ජනතාව රඳවා ගෙන සිටීම හේතුවෙන් විශාල ජන සංඛ්‍යාවක් ඝාතනයට ලක්වූ බවත් ඒ බව සමස්ත ලෝකයම පිළිගන්නා බවත් ඇමතිවරයා පැවසුවේය.

ජාත්‍යන්තර වශයෙන් පිළිගත හැකි පරීක්ෂණයක් පැවැත්වීමට එකඟ විය හැකි නමුත් යුද සංහාරයක් සිදු වූ බව කිසිසේත්ම පිළිගත නොහැකි බවයි රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළේ.

ජිනීවා

මෙම යෝජනාව උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලින්ගම් විසින් මීට පෙර ද ඉදිරිපත් කර තිබුණි.

නමුත් මෙවර ඉදිරිපත් කළ යෝජනාව දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා මන්ත්‍රීවරුන් 30 දෙනාම ඒකමතිකව සම්මත කොට තිබේ.

ඒ අනුව අදාළ යෝජනාව ඇතුළත් සන්දේශයක් උතුරු පළාත් සභාව මගින් ජිනීවා මානව හිමිකම් කමිටුව වෙත යැවීමටද තීරණය කොට ඇත.

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් පමණක් සෑහෙන බවට නව රජය කර ඇති ප්‍රකාශයට තමන් විරුද්ධ බවද මහ ඇමතිවරයා ප්‍රකාශ කොට තිබේ.