ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

“ගොඨාභය අත්අඩංගුවට ගැනීමට නිර්දේශ"

ඇවන්ට් ගාර්ඩ් සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළ යුතු බවට ජාතික විධායක සභාව නිර්දේශ කොට තිබේ.

මේ පිළිබඳව ජාතික විධායක සභාව සාකච්ඡා කිරීමෙන් අනතුරව එම තීන්දුවට එළඹුණු බවත් එය ක්‍රියාත්මක කිරීම බාර වන්නේ රාජ්‍ය යන්ත්‍රයට බවත් ජාතික විධායක සභාවේ සාමාජිකයකු වන නව සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ප්‍රකාශ කළේය.

ඉදිරිපත්වී ඇති කරුණු සත්‍ය නම්, විශාල සාපරාධී ක්‍රියාවක් සිදුවී ඇත්නම් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා අත් අඩංගුවට ගත යුතු බවට ජාතික විධායක සභාව තීරණය කළ බවයි ඔහු පැවසුවේ.

ඇවන්ට් ගාර්ඩ් වැනි ආයතනයක් පිහිටුවීමට රජයේ අවසරය ලැබී තිබෙන්නේද? එසේම එම ආයතනය මගින් මුහුද මැද සිදු කර ඇත්තේ කවරාකාර කටයුතුද?, එසේ කිරීමට තීන්දු ගෙන තිබෙන්නේ කවුරුන්ද? යන තොරතුරු සොයා බැලිය යුතු බවයි ජාතික විධායක සභාවේ සාමාජික ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ප්‍රකාශ කළේ.

ඇවන්ට් ගාර්ඩ් සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන පරීක්ෂණ පිළිබඳව ජාතික විධායක සභාවට වාර්තාවක් ලැබී ඇති බවත් දිගටම ඔවුන් පරීක්ෂණ බවත් ඔහු පැවසුවේය.