ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

තලෙයිමන්නාරම - රාමේශ්වරම් නැව් සේවාවක් - මෝදී

ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරමත් ඉන්දියාවේ රාමේශ්වරම් අතර නව නැව් සේවාවක් ආරම්භ කිරීමෙන් පසු දෙරට අතර ආර්ථික හා වාණිජ හුවමාරු කටයුතු රැසක් ආරම්භ වන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ප්‍රකාශ කරයි.

තලෙයිමන්නාරමට පැමිණි ඉන්දීය අගමැතිවරයා එසේ කියා සිටියේ තලෙයිමන්නාරම දුම්රිය ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවේදීයි.

දුම්රිය ධාවනය

මේ සමඟ තලෙයිමන්නාරම දක්වා දුම්රිය ධාවනය දීර්ඝ කෙරෙන අතර ඉන්දීය රජයට එම කටයුතුවලට දායකවීමට ලැබීම ගැන දැඩි ලෙස සතුටට පත් වන බව ඉන්දීය අගමැතිවරයා පැවසුවේය.

තලෙයිමන්නාරම සිට යාපනයට ගිය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී යාපනය පුස්තකාලයේ පැවතී විශේෂ සාකච්ඡාවකට සහභාගී විය.

ඉන්දියාවේ අගමැතිවරයකු ලෙස ප්‍රථම වතාවට තමාට යාපනයට පැමිණීමට භාග්‍යය උදා වීම සම්බන්ධයෙන් තමා ඉතා සතුටට පත් වන බවයි.

උතුරු නැගෙනහිර යුද්ධයෙන් විපතට පත්වූවන්ට ස්ථිර නිවාස 50,000 ක් ඉදි කොට දීමට හැකි වීම දෙරට අතර මිතු දමේ වැදගත්ම සන්ධිස්ථානය බව පෙන්වා දුන්නේය.

යාපනය පුස්තකාලය ගිනි බත් වීමෙන් වටිනා පොත් ලක්ෂ ගණනක් මෙන්ම සංරක්ෂණය කළ යුතුව තිබූ තවත් වටිනා දෑ විනාශ වී ගොස් ඇති බව පැවසූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී අනාගතයේ කිසිදු දිනක එවන් සිදුවීමක් ඇති නොවනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද කියා සිටියේය.

ඉන්දියාවේ මැදිහත්වීම

මේ අවස්ථාව ඇමතූ උතුරු පළාත් මහා ඇමති සී.වී.විග්නේස්වරන් කියා සිටියේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පමණක් දෙමළ ජනතාවගේ සියලු ප්‍රශ්න විසඳීමට ප්‍රමාණවත් නොවන බවයි.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් සියල්ල ලබා දීමට මුලින් එකඟ වුවත් අවසානයේ දී වෙනස් වූ බවයි ඔහු ප්‍රකාශ කළේ.

වත්මන් රජය තුළින් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ලබා ගැනීමට හැකි නව දේශපාලන ව්‍යූහයක් සකස් කර දීමට ඉන්දියාව මැදිහත් වන ලෙස උතුරු පළාත් මහා ඇමති සී.වී.විග්නේස්වරන් ඉල්ලා සිටියේය.