ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

වෛරී භාෂණය වැළැක්වීමේ නීති

වෛරී භාෂණය වැළැක්වීම අරමුණු කොට ගත් නීති ඇතුළත් වන පරිදි දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය එකඟතාව පල කරති.

මේ අනුව වාර්ගික හෝ ආගමික ගැටුම්වලට තුඩු දෙන වෛරී අදහස් වැපිරීම දණ්ඩ නීති සංග්‍රහයේ වරදක් බවට පත් වෙයි.

එම සංශෝධන ගෙන එන ලෙසට නීති කෙටුම්පත් සම්පාදකගෙන් ඉල්ලා සිටීම සඳහා අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය ලැබුණු බවයි අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශක රාජිත සේනාරත්න ඇමතිවරයා පැවසුවේ.

ආගම් හා ජාතිවාදය පිළිබිඹුවන කිසිම ප්‍රකාශනයක් ජන මාධ්‍ය මගින් හෝ වෙනත් ආකාරයකින් සිදු කළ නොහැකි බව සේනාරත්න ඇමතිවරයා අවධාරණය කළේය.

මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජිත සේනාරත්න ඇමතිවරයා පැවසුවේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මේවන විට මැදමුලනෙන් දේශපාලන කටයුතු ආරම්භ කර ඇති බවයි.

මැදමූලන සිට හිටපු ජනාධිපතිවරයා ජනතාව මුණ ගැසෙන බවත් නිල නිවේදන නිකුත් කරමින් සිටින බවත් ඔහු පැවසූවේය.

මහා බැංකු උපදෙස්

රජයේ අතුරු ඇය වැයෙන් පොරොන්දු වූ පරිදි රාජ්‍ය බැංකුවල උගසට තබා ඇති රන් භාණ්ඩ සඳහා පොලියක් ඇය නොකරන බවට ප්‍රකාශ කළත් එය තවමත් සමහර බැංකු විසින් ක්‍රියාත්මක නොකරන බව මාධ්‍යවේදියෙක් පෙන්වා දුන් විට ඇමතිවරයා පැවසුවේ මහා බැංකුව ලබා දෙන උපදෙස් වාණිජ බැංකු පිළිගත යුතු බවයි.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ පා ගමනට කඳුළු ගෑස් එල්ලවීම ගැන අමාත්‍යවරයා පැවසුවේ අරලිය ගහ මන්දිරය අසලට ඔවුන් පැමිණි අවස්ථාවේ දී සිසුන් අට දෙනකුට සාකච්ඡාවක් සඳහා ඇරයුම් කළ බවත් එය නොතකා සිසුන් විශාල පිරිසක් සාකච්ඡාවලට යාමට අවශ්‍ය බව පවසමින් ගැටුමකට ගොස් ඇති බවයි.

මහපොළ ශිෂ්‍යත්වය වෙනුවෙන් මුදල් ලබා දෙන බව ඉකුත් රජය අය වැය මගින් ප්‍රකාශයට පත් කොට තිබුනද එම මුදල් වෙන් කොට නොතිබූ බවයි ඇමතිවරයා ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේ.

පොරොන්දු වූ පරිදි වත්මන් රජය ඉදිරි මාසවලදී මහපොළ ශිෂ්‍යත්වය සඳහා අවශ්‍ය මුදල් ලබා දීමට පියවර ගන්නා බව පැවසුවේය.