ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

නිමල් මෙන්ඩිස්: නිහඬ නොවන සත්සර රාවය

ශ්‍රී ලාංකේය සිනමා සංගීතයේ වෙනස් කම් රැසකට දායක වූ ප්‍රවීණ සංගීතවේදී නිමල් මෙන්ඩිස් සිය දිවි මියැසියෙන් සමු ගත්තේය.

ගඟ අද්දර, බැද්දේගම, ගැහැණු ළමයි, අහසින් පොළවට, කොළඹ සන්නිය, දුවට මවක මිස සහ ගෝඩ් කිං ආදී චිත්‍රපට රැසකට සංගීතය සැපයූ නිමල් මෙන්ඩිස්ගේ ‘මාස්ටර් සර්’ ගීතය අතිශය ජනප්‍රියත්වයට පත් විය.

බ්‍රිතාන්‍යයේ නිපදවූ ‘ගෝඩ් කිං’ චිත්‍රපටයේ සංගීතයට සවන් දීමෙන් පසු ඔහුගේ සුවිශේෂී හැකියාවන් හඳුනා ගත් බවත් ඉන් පසුව තම සිනමා නිර්මාණයන්ට නිමල් මෙන්ඩිස් යොදා ගත් බවත් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂිකා සුමිත්‍රා පීරිස් පැවසුවාය.

‘ගෝඩ් කිං’

‘මම ගැහැණු ළමයි හැදුවේ හැත්තෑ ගණන් වල අග භාගයේ. ඒ වෙනකොට ගෝඩ් කිං නරඹලා ඒ සංගීතය කෙරෙහි ඇතිවූ ගෞරවය නිසා වෙන්න ඇති මගේ පළමු චිත්‍රපටයට මම නිමල්ව සම්බන්ධ කර ගත්තේ. ගෝඩ් කිං තනු කනට හරි ප්‍රියයි. ඉතා විශිෂ්ඨයි.’ බීබීසීයේ තිසර රතුවිතාන කළ විමසීමකදී සුමිත්‍රා පීරිස් කියා සිටියාය.

සිනමාවේ තාක්ෂණය ගැන ද දැනුමක් සහිත බැවින් නියමිත කාල පරාසයක් සහිත දර්ශන පෙළකට පවා සංගීත ඛණ්ඩයක් සාර්ථකව නිර්මාණය කිරීමට ඔහු සමත් කම් දැක් වූ බවයි සුමිත්‍රා පීරිස් පවසන්නේ.

ගඟ අද්දර චිත්‍රපටයේ සංගීතය වෙනුවෙන් නිමල් මෙන්ඩිස් 1979 වසරේ දී හොඳම සංගීත නිර්මාණයට හිමි ඕසීඅයිසී සම්මානය ද හිමි කර ගත්තේය.

සංගීතඥ නිමල් මෙන්ඩිස් පිලිබඳ මතකය අවදි කළ ප්‍රවීණ සිනමා ශිල්පිනී සුමිත්‍රා පීරිස් ගේ සම්පුර්ණ හඬ පටයට සවන් දෙන්න.