ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

බ්‍රිතාන්‍ය මැතිවරණ තරඟයේ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක්

බ්‍රහස්පතින්දා පැවැත්වෙන බ්‍රිතාන්‍යය මහ මැතිවරණය මෙවර තියුණු මුහුණුවරක් ගනු ඇති බවට දේශපාලන විචාරකයෝ පවසති.

දේශපාලන පක්ෂ නායකයෝ බදාදා සිය අවසන් දේශපාලන ප්‍රචාරක ව්‍යාපාරයේ නිරතව සිටියහ.

පාලක කොන්සර්වේටිව් පක්ෂයේ නායක, අගමැති ඩේවිඩ් කැමරන්(David Cameron) පැවසුවේ වසර පහකට කලින් තිබුනාට වඩා රට දැන් ශක්තිමත් බවයි.

රටේ මහන්සියෙන් වැඩ කරන ජනතාවට සහන සැලසීම සඳහා තම පක්ෂයට ඡන්දය දෙන ලෙස කම්කරු පක්ෂ නායක එඩ් මිලිබැන්ඩ් (Ed Miliband) ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක නික් ක්ලෙග් (Nick Clegg) පැවසුවේ රටේ ස්ථාවරත්වය සහ විනීතභාවය ඇති කිරීම සඳහා තම පක්ෂයට ඡන්දය දෙන ලෙසයි.

සුපුරුදු ලෙසින්ම සංක්‍රමණිකයන් පිළිබඳ ප්‍රශ්නය මෙවර මැතිවරණ වේදිකාවේත් ප්‍රධාන මාතෘකාවක්.

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත තරුණ තරුණියන් තිදෙනකුත් ප්‍රධාන පක්ෂ නියෝජනය කරමින් මෙවර මැතිවරණයට තරඟ වැද සිටීම විශේෂත්වයක්.

අනපේක්ෂිත සිදුවීමක් හේතුවෙන් එයින් එක් අපේක්ෂකයෙකු බදාදා බ්‍රිතාන්‍ය මාධ්‍යවල ප්‍රධාන පුවතක් බවට පත්ව තිබුණි.

Image copyright PA

ජාතිවාදී අපහාස

බ්‍රිතාන්‍යයේ හැම්ප්ෂයර් ආසනය වෙනුවෙන් තරඟ වදින ආසියානු ජාතික අපේක්ෂකයකුට ජාතිවාදී අපහාස කිරීමේ චෝදනා ලත් යුකිප් හෙවත් (UK Independence) පක්ෂයේ අපේක්ෂකයකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන බව එම පක්ෂය විසින් නිවේදනය කෙරිණ.

එම ආසියානු අපේක්ෂකයාගේ නළලට ඉලක්ක කොට වෙඩි තැබීමට තමන්ට සිත් දෙන බවයි, යුකිප් අපේක්ෂක රොබර්ට් බ්ලේ වෙස් වලාගත් මාධ්‍යවේදියකුට පවසා තිබුණේ.

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත 29 හැවිරිදි රනිල් ජයවර්ධන එසේ ජාතිවාදී අවලාද ලැබූ අපේක්ෂකයායි.   කේම්බ්‍රිජ් ආසනයට තරඟ වදින අපේක්ෂකයන් අතර සිටින ශ්‍රී ලාංකික තරුණියක වන චමලි ප්‍රනාන්දු ඉදිරිපත් වන්නේත් කොන්සර්වටිව් පක්ෂයෙන්.

මේ අතර, උතුරු ලන්ඩනයේ නැගනහිර හැරෝ (Harrow East) ආසනය සඳහා තරඟ වදින්නේත් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත දෙමළ ජාතික තරුණියක වන උමා කුමාරන්.

ඇය තරඟ කරන්නේ ලේබර් පක්ෂයෙන්.