ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තය තවත් ජාත්‍යන්තරයට

ශ්‍රී ලංකාවේ තේ සහ ක්‍රිකට් වලින් පසු ජාත්‍යන්තරයේ අවධානය ශ්‍රී ලංකාව වෙත යොමු කරවන තවත් එක අංශයක් වන්නේ ශ්‍රී ලංකාවේ මැණික් සම්පතයි; ඒ අතරින් වර්ණ මැණික් ගල් වලට හිමි වන්නේ විශේෂ තැනක්.

තද පාට සහිත මැණික් ගල් වර්ණ මැණික් ගල් යනුවෙන් හැඳින්වේ.

වර්ණ මැණික් ගල් වලට ශ්‍රී ලංකාව ලබා ඇති ඉහළ ප්‍රමුඛතාව නිසාම මෙවර ජාත්‍යන්තර වර්ණ මැණික් ගල් සංගමයේ ගෝලීය කොංග්‍රසය රැස් වුණේ කොළඹ දීයි.

ලොව ප්‍රකට මැණික් ව්‍යාපාරිකයන් සහ මැණික් කර්මාන්තයේ විශේෂඥයන් ඇතුළු 300 දෙනෙක් ඊට එක් වූහ.

ජාත්‍යන්තර වර්ණ මැණික් ගල් ජගත් සම්මේලනය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට හැකි වීම ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තය තවත් ජාත්‍යන්තරයට ගෙන යාමේ එක් පියවරක් බවයි එහි සාමාජික මැණික් කැපීමේ හා ඔප දැමීමේ ප්‍රවීණ ශිල්පියකු වන සමන් අමරසේකර බිබිසියට පැවසුවේ.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන මැණික් සමාගම් 50 වැඩි සංඛ්‍යාවක් ඔවුන්ගේ මැණික් ගල් හා ස්වර්‍ණාභරණ රැසක් ප්‍රදර්ශනය කෙරෙන "ෆැසෙස්ට් ජෙම් ෂෝ" නම් මැණික් ගල් වෙළඳ ප්‍රදර්ශනය ද සමුළුවට සමගාමීව පැවැත්විණ.

ජාත්‍යන්තර මැණික් ව්‍යාපාරිකයන් සමග සබඳතා ගොඩ නගා ගැනීම සඳහා මෙය ඉතා වැදගත් අවස්ථාවක් බවයි වෙළෙඳ ප්‍රදර්ශනයට එක්ව සිටි රත්නපුර මැණික් ව්‍යාපාරිකයෙකු වන සාරික් හුසේන් පැවසුවේ

වර්ණ මැණික් ගල් වෙළදාම දැන් 80% වඩා සිදුවන්නේ ශ්‍රී ලංකාව මූලික කරගෙන පවසන ඔහු මැණික් කර්මාන්තය තවදුරටත් වර්ධනය කිරීම සඳහා කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් දියුණු කිරීමට රජය කටයුතු කල යුතු බවයි පෙන්වා දුන්නේ.

මෙම සමුළුවට සහභාගිවී සිටි ඉන්දීය ජාතික මැණික් ව්‍යාපාරිකයෙකු වන නිරන් ලකී පැවසුවේ ශ්‍රී ලංකාව ඉතා හොඳ මැණික් වෙළෙඳ පොලක් බවයි.

චීනයෙන් ඇති ඉල්ලුම නිසා දැන් ශ්‍රී ලංකාව මැණික් සඳහා ඉතා ඉහළ මිලක් අය කිරීමට පටන් ගෙන ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

මැණික් සඳහා සාධාරණ මිලක් අය කිරීමෙන් ශ්‍රී ලංකාවට තවත් ගැනුම්කරුවන් පැමිණිය හැකි බවයි ඔහු පවසන්නේ.

මැණික් ව්‍යාපාරයේ ප්‍රබලයන් සමුළුව ආශ්‍රිතව මෙම වෙළෙඳ ප්‍රදර්ශනය පවත්වන අතරතුර ඊට යාබදව ජාතික මැණික් හා ස්වර්‍ණාභරණ අධිකාරියේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ මැණික් ව්‍යාපාරිකයන්ට වෙළෙඳ කුටි ලබාදී තවත් ප්‍රදර්ශනයක් පවත්වන ලදී.

කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ජාත්‍යන්තර වෙළෙඳ පොලට ඇතුළුවීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි ජාතික මැණික් හා ස්වර්‍ණාභරණ අධිකාරියේ අධ්‍යක්ෂක රොහාන් පෙරේරා බිබිසියට පැවසුවේ.