ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට තැන්පත් මුදලින් 41%

රජය, ගෝල්ඩන් කී‘ තැන්පත්කරුවන්ට ඔවුන් තැන්පත් කළ මුදල් වලින් 41% ක් ලබා දීමට එකඟතාවය පල කොට තිබේ.

ගෝල්ඩන් කී ආයතනයේ තැන්පත් කරන ලද මුදල් අහිමි වූවන්ගේ සංගමය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී රජයේ නීතිඥයා ඒ බව ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා ඇත.

එම මුදල් වසරක් දක්වා වූ උපරිම කාල සීමාවක් තුල ගෙවා අවසන් කිරීමට නියමිත බවත් ඒ සඳහා ඒ සඳහා ඊයේ, බදාදා අමාත්‍ය මණ්ඩල අනුමතිය ලැබුණු බවත් රජයේ නීතිවේදියා අධිකරණයට දැනුම් දී තිබේ.

මේ තීන්දුව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ගෝල්ඩන් කී තැන්පත් කරුවන්ගේ සංගමයේ ලේකම් දුෂ්‍යන්ති හපුගොඩ පැවසුවේ මෙය තමන් බලාපොරොත්තුවෙන් සිටි නඩු තීන්දුවක් බවයි.

තැන්පත්කරුවන්ට අහිමි වූ සියලු මුදල් ආපසු ලබා ගැනීමට තම සංගමය බලාපොරොත්තු බවත් ඇය ප්‍රකාශ කළාය.

මේ වන විට තැන්පත්කරුවන් 38 දෙනකු සිය දිවි හානි කර ගෙන ඇති බව පැවසූ ඇය, තවත් 149 දෙනකු සිය රෝගාබාධ වලට ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකිව අකාලයේ මිය ගොස් ඇති බව සඳහන් කළාය.

තමන් බලාපොරොත්තු වූ පරිදි සියයට සියයක් නොලැබුනත් නඩු තීන්දුව මගින් තැන්පත්කරුවන්ට කිසියම් ප්‍රමාණයකට සාධාරණය ඉටු වී ඇති බවයි ඇය ප්‍රකාශ කළේ.