ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ජනවාරි 8 කුමන්ත්‍රණයක් වුනා -සෝමවංශ

බීබීසීය සමඟ සාකච්ඡාවකට එක් වෙමින් හිටපු නායක සෝමවංශ අමරසිංහ කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායකයා කුමන්ත්‍රණ කරුවන් සමඟ එක් වී සිටින බවයි.

ඔහු මේ බව කියා සිටියේ ජනවාරි අට වැනිදා අරලියගහ මැදුරේ සිදු වූ බව පැවසෙන කුමන්ත්‍රණය පිළිබඳව සිහිපත් කරමින්.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ තවදුරටත් කියා සිටියේ අධිරාජ්‍ය විරෝධී සහ දේශප්‍රේමී පුළුල් පෙරමුණක් පිහිටුවා ගැනීම සඳහා පිවිතුරු හෙටක් සංවිධානය සමඟ ද සාකච්ඡා පැවැත්වූ බවයි.

සම්පූර්ණ සාකච්ඡා දෙකෙහි හඬ පට මෙම පිටුවේ අමුණා ඇත.

එදා සහ අද

ජනතා විමුක්ති පෙරමුණ දෙකඩ වීමක් හෝ බිඳ වැටීමක් සිදු නොවන බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ නගන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින්.

සෝමවංශ අමරසිංහ හිටපු නායකයා අතීතයේ කර ඇති ප්‍රකාශ සහ වර්තමානයේ කරන ප්‍රකාශ සංසන්දනය කර බැලීම තුළින් සිදු වී ඇති දේ වටහා ගත හැකි බවයි අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා බීබීසීයට කියා සිටියේ.

‘අමරසිංහ මහත්මයා අපේ පක්ෂයෙන් ඉවත් වී තිබෙනවා. ඊට පස්සේ ඔහුට දේශපාලනයේ නිරත වීමේ අයිතියක් තියෙනවා. ඒ අනුව දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගීම ඔහුගේ අයිතියක්. ඒ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ විශේෂ සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ඔබ දන්නවා අමරසිංහ සහෝදරයා පක්ෂයෙන් ඉවත් වූ අවස්ථාවේ දී කළ ප්‍රකාශ සහ දැන් කරමින් තිබෙන ප්‍රකාශ. ඒ ප්‍රකාශ සංසන්දනය කර බැලුවම ඔබට තේරෙනවා සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද කියලා.’ අනුර කුමාර මන්ත්‍රීවරයා පවසයි.