ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

නවක ක්‍රීඩකයන්ට අවස්ථාව දෙන්න අවශ්‍යයි

පකිස්ථානය සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියෙන් දිනේෂ් චන්දිමාල් හා ලහිරු තිරිමාන්න යන ක්‍රීඩකයන් ඉවත් කිරීම මේවන විට ක්‍රිකට් ක්ෂේත්‍රයේ දැඩි කථා බහට ලක් වෙමින් තිබේ.

මෙම ක්‍රීඩකයන් දෙදෙනා ඉදිරි ඉන්දියානු ටෙස්ට් තරගාවලිය ඉලක්ක කර ගනිමින් විවේක ගැන්වූ බවට තේරීම් කමිටුව පැවසුවත් ඇතැම් මාධ්‍ය වාර්තා පැවසුවේ විශේෂයෙන්ම දිනේෂ් චන්දිමාල් කණ්ඩායමෙන් ඉවත් කිරීමට විස්සයි විස්ස නායක ලසිත් මාලිංග පෞද්ගලිකවම කටයුතු කළ බවයි.

මේ පිලිබඳ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරමින් හිටපු තේරීම් කමිටු සභාපති සනත් ජයසුරිය පැවසුවේ දිනේෂ් චන්දිමාල් කණ්ඩායමෙන් ඉවත් කිරීමට ලසිත් මාලිංගට කලක පටන් වුවමනාවක් තිබූ බවයි.

Image copyright Reuters
Image caption ලහිරු තිරිමාන්න

ඊයේ පකිස්ථානය සමග පැවති පළමු විස්සයි විස්ස තරඟයෙන් අනතුරුව දිනේෂ් චන්දිමාල් ඉවත් කිරීම ගැන හිටපු තේරීම් කමිටු සභාපති සනත් ජයසුරිය එල්ල කළ චෝදනාව පිළිබඳව බිබිසි ය, ලසිත් මාලිංගගෙන් විමසූ අතර එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් ඔහු පැවසුවේ අළුත් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු අත්හදා බැලීම සඳහා නව තේරීම් කමිටුව සමග එක්ව එම තීරණය ගත් බවයි.

අලුතින් පත්වුණු තේරීම් කමිටු සභාපතිවරයා සමඟ සාකච්ජා කොට එම තීරණය ගත් බවයි ඔහු පැවසුවේ.

Image copyright Reuters
Image caption දිනේෂ් චන්දිමාල්

" ලෝක කුසලානයට පෙර අපට තරග 10 ක් පමණයි තියෙන්නේ, මට අවශ්‍ය ඒකෙන් තරඟ 4 කින් 5 කින් කණ්ඩායමට අවශ්‍ය කොච්චර දක්ෂ ක්‍රීඩකයන් එළියේ ඉන්නවද කියලා දැනගන්න, තිරිමාන්න ගේ හා චන්දිමාල්ගේ දක්ෂතා ගැන මම දන්නවා, අපේ අරමුණ මෙතනින් හොද ක්‍රීඩකයන් අරගෙන හොඳ කණ්ඩායමක් හදා ගෙන ලෝක කුසලානයට යන්න," ලසිත් මාලිංග කියා සිටියේය.

තම දක්ෂතා අඩු වුවහොත් ඇතැම් විට ලෝක කුසලාන සංචිතයෙන් තමා පවා ඉවත් කිරීමට තේරීම් කමිටුව කටයුතු කරනු ඇති බවයි ලසිත් මාලිංග වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ.