ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ලිංගික ශ්‍රමිකාවියකගෙන් පොලිසියට ආයාචනයක්

පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා අනෙකුත් සැක කරුවන්ට තිබෙන අයිතිවාසිකම් තමන්ට ද පොලිසිය තුළදී ලබා දෙන මෙන් ලිංගික ශ්‍රමිකාවියක් ඉල්ලා සිටින්නීය.

රත්නපුරේ මහේෂ්වරී පොලිසියෙන් ආයාචනය කරන්නේ අනෙකුත් වැරදි කරුවන් දෙස බලන ආකාරයටම තමන් ඇතුළු සියලුම ලිංගික ශ්‍රමිකයන් දෙස ද බලන ලෙසයි.

‘ඕනෑම කෙනෙක් වැරදි කරනවා. ඒකට දඬුවම දෙන්න. අපිවත් ඒ රාමුවෙන් ම බලන්න. අපිව ඉතාමත් පහත මට්ටමට දාන්න එපා. අපිත් මනුස්සයෝ. වැරදි කළාම අත්අඩංගුවට ගන්න එක සාධාරණයි. ඒත් අනෙක් වැරදිකරුවන් දෙස බලන විදියටම අප දෙසත් බලන්න.’

'ගණිකාව කරන්නේ පොලිසියෙන්'

ලිංගික ශ්‍රමික කාන්තාවන් බොහෝ අවස්ථාවල දී පොලිස් අත්අඩංගුවට පත් වන ආකාරය ඇය පැහැදිලි කළේ පොලිසියට චෝදනාවක් ද එල්ල කරමින්.

‘පොලිසියෙන් එන්නේ අපිව අරගන්න. වැඩ කරලා ඉවර වුනාම කියනවා මම පොලිසියෙන් කියල. ඇත්තටම ඉස්සෙල්ලාම කාන්තාව ගණිකාව කරන්නේ පොලිසියෙන්. ඒ අය ඉඳලනෙ අපිව ගෙනියන්නේ. කාමරේකට ගෙනිහිල්ලා අපේ ශරීරය චෙක් කරනවා. උසාවියට ගෙනිහින් තව දාහකට පෙන්වනවා මෙයා ගණිකාවක් කියල.’ (හඬ පටයට සවන් දෙන්න.)

පොලිසියට එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්‍ෂේප කරමින් පොලිස් ප්‍රකාශක රුවන් ගුණසේකර කියා සිටියේ පැමිණිල්ලක් ලැබුනොත් එම නිලධාරියාට එරෙහිව කටයුතු කරනු ඇති බවයි.

'අපි දෙයියොද?'

ඇය දෙස වපර ඇසින් බලන සමාජය දෙස ඇය බලන්නේ මේ අයුරින්.

‘පන්සලකට යන්නෙත් බයෙන්. කෝවිලකට ගියත් අන්න අර ගෑනි කෝවිලට ඇවිල්ල කියනවා. දෙයියෝ ගාව නෙවෙයි ඇස් තියෙන්නේ. අපි දෙයියොද? අපි දිහා ඇස් දෙක තියෙන්නේ. එහෙම බලන්න එපා. අපිත් මිනිස්සු. මිනිස්සුම තමයි අපිව අරන් යන්නෙත්.’

'අපේ දරුවන්'

‘දුප්පත් කම නිසයි ගණිකාවක් වෙන්නේ. අපේ දරුවන්ට ඉස්කෝලෙදී හිරිහැර වෙනවා. අද බම්බලපිටියේ, කොල්ලුපිටියේ වැල්ලවත්තේ වෙරළ අයිනේ ළමයි කොච්චර ඉන්නවද. ඒ අය එක්කෝ කෝච්චියට යට වෙනවා. නැත්නම් මුහුදට බිලි වෙනවා. එක්කෝ තවත් මිනිහෙකුට යට වෙනවා. අපිට වැරදුනාට ළමයින්ට වරදින්න හොඳ නැහැ.’

මේ අතරතුර ලිංගික ශ්‍රමිකාවියන් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කිරීම සඳහා නීතීඥයන් පිරිසක් සංවිධාන ගත වී සිටිති.

පොලිසියේ දී මුලික අයිතීන් උල්ලංඝනය කළ අවස්ථා කිහිපයක් පිළිබඳව අධිකරණය වෙත යාමට කටයුතු කකරමින් සිටින බවයි මානව හිමිකම් නීතීඥ ලක්ෂාන් ඩයස් බීබීසීයට කියා සිටියේ. හඬ පටය අමුණා ඇත.