ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

‘සුනාමිය විපතක්; සමහරුන්ට රන් වතුරක්’

ප්‍රසාද් පූර්ණිමල් ජයමාන්න - දකුණේ කළ සංචාරයක්

‘අපට සුනාමිය විපතක්. ඒත් සුනාමිය සමහරුන්ට ‘රන් වතුරක්’ වුනා’

සුනාමියෙන් වසර එකොළහකට පසු දකුණේ සිදු කළ සංචාරයේ දී සුනාමියට මුහුණ දුන් පුද්ගලයන් කීප දෙනකු ගේ මුවින් එදා තමන් මුහුණ දුන් නපුරු අත්දැකීම ප්‍රකාශයට පත් වුනේ එවැනි වදන් මාලාවකිනි.

සුනාමියෙන් විපතට පත්වූවන් නගා සිටවීම , මුහුද බිළි ගත් ප්‍රදේශ යළි ගොඩනැගීම වැනි කටයුතු බොහෝ දුරට අවසන් වී ඇති ආකාරයක් දක්නට ලැබෙන නමුත් සුනාමියෙන් වැඩි පුරම විපතට පත් ධීවර ජන ජීවිතය 2004 වසරේ නත්තල් දිනට පසු දින තෙක් පැවති පෙර මට්ටමට තවමත් පැමිණ නැති බවයි බොහෝ ධීවරයන්ගේ විශ්වාසය වන්නේ.

මේ අතර දකුණු ධීවර සංවිධානයේ මධුක සම්පත් බීබීසියට අදහස් දක්වමින් සුනාමි විපත සමාජය මත ඉතිරි කරන ලද බොහෝ දෙනකු නොදකින පැති කඩක් විස්තර කළේ මෙවැනි වචන සමුදායකිනි.

මානසික පීඩාව

‘ආණ්ඩුව, රාජ්‍ය නොවන සංවිධාන මේ සියලු දෙනාගේ ඇස් වලට නො පෙනෙන පැති කීපයක් තියනවා . ඉන් ප්‍රධාන වන්නේ දෙමාපියන් අහිමි වුන දරුවන් . මම දන්නා තැනක ඉන්නවා - සුනාමියෙන් අම්මා අහිමි වුනාට පස්සේ යන්න එන්න තැනක් නැතිව ඉන්න තරුණියක් . මෙයා මන්ද මානසික තැනැත්තියක් . දැන් ඉන්නේ වේහැල්ල සම්බෝධි නිවාසයේ’මධුක සම්පත් පවසයි.

වේහැල්ල සම්බෝධි නිවාසයේ පාලිකාවක් වන හැරියට් හිත්තැටිය කියා සිටියේ අනෝමා ද සිල්වා නමැති එම තරුණිය රැක බලා ගැනීම හැර ඇයගේ අනාගතය පිළිබඳව සොයා බැලීමට තම ආයතනයට නොහැකි බවයි .

සුනාමි දැරියක් සයුරි

රාජ්‍ය නොවන සංවිධානයක පරිත්‍යාගයෙන් දික්වැල්ල ග්‍රාමයේ ඉදි කරනු ලැබ ඇති සුනාමි අවතැන් නිවාස සමූහයේ දී ‘සයුරි’ නමැති දැරියක් මට හමු වුණි.

‘සයුරි’ ට එම නම ලැබී ඇත්තේ සුනාමිය මුල් කර ගෙනයි .සයුරිගේ මවට සිය දියණිය ලැබුනේ සුනාමියට හසු වී ජීවිතය ගලවා ගැනීමෙන් පසුයි . සයුරිගේ පියා සිය දියණියට එම නම තෝරා ගෙන ඇත්තේ ඇය සුනාමිය පරාජය කරමින් උපන් දරුවකු වන බැවිනි.

සුනාමිය අපට විපතක් ඇති වුනාට සමහරුන්ට එය ‘රන් වතුරක්’. සුනාමි දැරියක් වන සයුරිගේ පියා ‘නීල්’ සිය සුනාමි මතකය අවදි කරයි.

‘ඇතැමුන් විනාශය ජාවාරමක් කර ගත්තා’ නීල් පවසයි. වැඩි දුරටත් අදහස් දක්වන නීල් සුනාමි නිවාස වල අඩු පාඩු ද පෙන්වා දෙයි.

ආධාර ගසා කෑම්

‘කරන දෙයක් හරියට කරන්න ඕනෑ . මොකද අන්තිමට වුනේ? අපට සොච්චමක් දීලා වගකිව යුතු පුද්ගලයන් වැඩි හරියක් සාක්කුවේ දා ගත්ත එකයි සිද්ධ වුනේ’ නීල් පළ කරන්නේ සිය බලාපොරොත්තු සුං වූ බවයි. සුනාමියෙන් දිවි බේරුණ නීල් වැනි පුද්ගලයන් කියන කතාව සත්‍යයක් වන බව දකුණු ධීවර සංවිධානයේ ක්‍රියාකාරිකයකු වන ගුණපාල ගමගේ පවසයි.

‘ඒ වගේ ප්‍රශ්න වලට හේතුව පසු විපරමක් සිදු නොකිරීම. එහෙම කළා නම් ජනතාවගෙන් අද වන විට මේ ඇහෙන කතා සැලකිය යුතු ලෙස අඩු වෙන්න තිබුණා’ එය ගුණපාල ගමගේ දරන අදහසයි.