ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ජනතා විප්ලවයක් -අගමැති, ආප්ප විප්ලවයක් -විමල්

ජනවාරි අට වැනිදා සිදු වූ බල පෙරළිය සැමරීම සඳහා රජය කෝටි ගණනක් වියදම් කරන බවට විමල් වීරවංශ මන්ත්‍රීවරයා කරන චෝදනාවට ප්‍රතිචාර දක්වමින් මුදල් ඇමතිවරයා කියා සිටියේ ඒ සඳහා රජයේ මුදල් ‘තඹ සතයක්වත්’ වැය නොකරන බවයි.

අගමැති රනිල් වික්‍රමසිංහ ජනතා විප්ලවයක් හැටියට හඳුන්වන ජනවාරි අට බල පෙරළිය විමල් වීරවංශ හිටපු ඇමතිවරයා හැඳින්වූයේ ‘ආප්ප විප්ලවයක්’ ලෙසිනි.

‘ආප්ප විප්ලවයක්’

‘හිටපු නායකයත් එක්ක අද රෑ ආප්ප කාල හෙට උදේ අනිත් පැත්තට පනින්න පුළුවන් නම් ඒක චපලත්වයේ විප්ලවයක්. රටට යහපතක් කළ විප්ලවයක් නෙමෙයි. ඒ නිසා හඳුන්වන්න තිබෙන හොඳම ක්‍රමය තමයි ආප්ප විප්ලවය කියන එක. පසුගිය රජයේ නොතිබුණු නාස්තියක් හුවා දක්වමින් බලයට පැමිණි මේ ආණ්ඩුව අට වැනිදා වුනු බව පවසන විප්ලවයක් සැමරීමට කෝටි ගණන් මුදල් වැය කිරීම හරිද?’ බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වූ වීරවංශ මන්ත්‍රීවරයා ප්‍රශ්න කරයි.

හිටපු ඇමතිවරයා නගන චෝදනාවලට ප්‍රතිචාර දක්වන මුදල් අමාත්‍යවරයා පවසන්නේ එවැනි ‘ආප්ප විප්ලවයක්’ ගැන තමා නොදන්නා නමුත් රටේ බල පෙරළිය සැමරීම සඳහා රජයේ මුදල් වැය නොකරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවයි. (හඬ පට අමුණා ඇත.)

'තඹ සතයක්'

‘මොන? රටේ මුදල් ඇමතිවරයා හැටියට මට කියන්න පුළුවන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කියල තියෙන්නේ තඹ සතයක් වත් වියදම් කරන්න එපා කියල. මේවා රජයේ මුදල්වලින් වියදම් කරන්නේ නැහැ. මතක තියා ගන්න ඕන එක දෙයි. ඒ ගොල්ලන්ගේ උපන්දිනවලට කරපු ඒ නාඩගම්. ඒ වගේ දේවල් දැන් නැති නිසා මං හිතන්නේ ඒ ගොල්ලන්ට දැන් දරා ගන්න බැහැ. එච්චරයි මට කියන්න පුළුවන්.’ රවී කරුණානායක ඇමතිවරයා බීබීසීයට පැවසීය.

කොමිෂන් සභා පත් කිරීම තුළින් පවා කිසිදු යහ පාලනයක් ඇති වී නැති බව පවසන වීරවංශ මන්ත්‍රීවරයා කියා සිටියේ පොහොර සහනාධාරය වැනි ජනතා අයිතීන් පවා කප්පාදු කර ඇති බවයි.

'අමුලික බොරුවක්'

මෙවර අය වැය මගින් පොහොර සහනාධාරය වැඩි කර ඇති බවයි එම චෝදනා ප්‍රතික්‍ෂේප කරන මුදල් ඇමතිවරයා පවසන්නේ.

‘කපා හැරලා කියන වචනේ තේරුම දන්නේ නැතිනම් ඒක අධ්‍යයනය කරලා ආවොත් හොඳයි. මොකද ඒක අමුලික බොරුවක්. තිබ්බ විදියට තිබුනානම් අට දාහයි ගෙවන්නේ. දැන් දොළොස් දාහක් ගෙවනවා. අවුරුද්දට විසි පන් දාහයි. මං දන්නෙ නැහැ මොනවද කතා කරන්නේ කියල.’ රවී කරුණානායක ඇමතිවරයා පැවසීය.