ඉන්දියා සහ පාකිස්තාන උණුසුම: මෙතෙක් කුමක් වී ද?

පුල්වාමා ප්‍රහාරයෙන් පසුව පාකිස්තානයේ පිහිටි ජෙයිෂ් - ඊ - මොහොමඩ් කණ්ඩායමේ පුහුණු කඳවුරකට ඉන්දීය ගුවන් හමුදාව ප්‍රහාර එල්ල කිරීමත් සමග අසල්වැසි රටවල් දෙක අතර උණුසුම් තත්ත්වයක් වර්ධනය විය

මේ, ඒ සම්බන්ධ සිද්ධි පෙළ ගැස්මකි.

  • පෙබරවාරි 14 2019
    විස්තර ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීරයේ පුල්වමාහිදී මධ්‍යම අතිරේක පොලිස් බළකායේ (Central Reserve Police Force) රථ පෙළකට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් සෙබළුන් 40 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ජෙයිෂ් - ඊ - මොහොමඩ් නමැති කණ්ඩායම එම ප්‍රහාරයේ වගකීම භාර ගත්තේය.
  • පෙබරවාරි 17 2019
    විස්තර පාකිස්තානය ඔවුන්ගේ මහ කොමසාරිස්වරයා නවදිල්ලියේ සිට යළි ගෙන්වා ගත්තේය.
  • පෙබරවාරි 18 2019
    විස්තර ඉන්දීය පාලිත කාශ්මීර ප්‍රදේශයේ පිහිටි පුල්වාමාහි කැරලිකරුවන් සැඟවී ඇතැයි විශ්වාස කළ සාමාන්‍ය ජනතාව ජීවත්වන කලාපයක සිදුවූ වෙඩි හුවමාරුවකින් ඉන්දීය යුද්ධ හමුදා සෙබළුන් 4 දෙනෙකු, පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු 9 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
  • පෙබරවාරි 19 2019
    විස්තර පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පැවසුවේ, "කිසිදු තහවුරු කිරීමක් හෝ සාක්ෂියක් නොමැතිව පාකිස්තානයට චෝදනා කිරීම නතර කළ යුතු" බවය. ඒ සම්බන්ධයෙන් කුමන හෝ “ක්‍රියාමාර්ග ගත හැකි බුද්ධි තොරතුරු" ඇත්නම් ඉදිරිපත් කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය. "පාකිස්තානයට එරෙහිව කුමන ආකාරයක හෝ ප්‍රහාරයක් එල්ල කළහොත් ප්‍රතිප්‍රහාර එල්ල කරන්න හිත හිතා ඉන්නේ නැහැ. පාකිස්තානය ප්‍රතිප්‍රහාර එල්ල කරනවා," ඉම්රාන් ඛාන් පැවසීය.
  • පෙබරවාරි 24 2019
    විස්තර ජම්මු සහ කාශ්මීර ප්‍රදේශයට අයත් වන කුල්ගම් ප්‍රදේශයේ ඇති ගැටුමකින් ජෙයිෂ් - ඊ - මොහොමඩ් සටන්කරුවන් තිදෙනෙක් සහ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
  • පෙබරවාරි 26 2019
    විස්තර ඉන්දීය ගුවන් හමුදාව විසින් ජෙයිෂ් - ඊ - මොහොමඩ් කැරලිකරුවන්ගේ පුහුණු කඳවුරු ඉලක්ක කර යුද්ධ ගුවන් යානා මගින් කාශ්මීර පාලන සීමාව හරහා ප්‍රහාර එල්ල කරන ලදී. එහිදී කිසිදු පුද්ගල හානියක් සිදු නොවූ බව පාකිස්තානය පැවසීය.
  • පෙබරවාරි 28 2019
    විස්තර "සාමයට අත වැනීමක් ලෙස" අත්අඩංගුවේ පසුවන ඉන්දීය ගුවන් නියමුවා නිදහස් කරන බව පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් නිවේදනය කළේය.

දායකත්වය

නිෂ්පාදනය: මහිමා සිං

නිිර්මාණය: Olawale Malomo,Dhruv Nenwani

ඡායාරූප: Getty Image