නාය යාම හමුවේ සිය නිවස අහිමිවීමේ අවදානමක සිටින දැරියක්

දොළොස් හැවිරිදි කම්රූගේ නිවස කන්දක් මත පිහිටා ඇත.
එය උණ වර්ගවලින් සහ පොලිතීන් කොළවලින් නිමවා තිබේ.
ගිණිකොන දිග බංග්ලාදේශයේ, කොක්ස් බසාර්හි පිහිටි ලොව විශාලතම සරණාගත කඳවුරේ ඇය තම මිත්තණිය සමග ජීවත් වන්නීය.
තද මෝසම් වර්ෂාව සහ කුණාටු හේතුවෙන් ඔවුන්ගේ නිවස මඩ සහිත තද බෑවුම දිගේ ගසාගෙන යා හැකිය.
"මෙතැන ජීවත් වෙන්න මම කැමති නෑ - එක හරි අමාරුයි," කම්රූ පවසන්නීය.
"මම හැම වෙලාවෙම වැඩ කරනවා, මට සෙල්ලම් කරන්න වෙලාවක් නැහැ."
කම්රූ දවසේ වැඩි කාලයක් ගතකරන්නේ ඇගේ 60 හැවිරිදි මිත්තණිය වූ අමිනා රැක බලා ගැනීමටය.
ජලය සහ දර එකතු කරන ඇය වෙළෙඳපොළට යන අතර නිවසේ ආහාර ද පිසින්නීය.

එදිනෙදා උවමනා සඳහා බොහෝ දුෂ්කර සහ වලවල් සහිත මාර්ගවල දිනපතා කිලෝමීටරයක් පමණ පාවහන් නොමැතිව ඇවිදින්නට ඇයට සිදුවේ.
අනෙක් බොහෝ පවුල් ද මෙවැනිම අරගලයක නිරත වෙති.
ආසන්න වශයෙන් මිලියනයක පමණ පිරිසක් 'කොක්ස් බසාර්' සරණාගත කඳවුරේ තාවකාලික නිවාසවල සිරවී ජිවත් වෙති.

සිතියම් මුලාශ්‍රය: Inter Sector Coordination Group, Reach Initiative, Unicef

කම්රූ ජිවත්වන කුතුපලොන්ග් හි පිහිටි "දැවැන්ත කඳවුර" වර්ග කි.මී. 13 ක් පුරා විහිදුණු විශාලම කඳවුරයි.
කුඩා පරිපාලන කඳවුරුවලට බෙදා වෙන්කර ඇති මෙහි ලක්‍ෂ හයකට වඩා ජිවත් වෙනවා.

සිතියම් මුලාශ්‍රය: Inter Sector Coordination Group, Reach Initiative, Unicef

බොහෝ තාවකාලික නිවාස ඉදිකර ඇත්තේ අවදානම් සහිත තැන්වලය.
ලක්ෂ දෙකක පමණ පිරිසක් ජිවත්වන්නේ මෝසම් වර්ෂාවෙන් අනතුරු සිදුවිය හැකි ස්ථානවලය.

සිතියම් මුලාශ්‍රය: Inter Sector Coordination Group, Reach Initiative,Unicef

නායයාම් සහ ගංවතුර වැනි මෝසම් සම්බන්ධ දහස් ගණනක් සිදුවීම් දැනටත් 50,000 ක් පමණ පිරිසකට බලපා තිබේ.
ආධාර සපයන ආයතන, ප්‍රවේශම් සහිත තැන්වලට සහ ශක්තිමත් නිවාසවලට පිරිස් යොමු කරමින් සිටී.
එහෙත් සැප්තැම්බරයේ කුණාටු සහ සුළි සුළං තවම ආරම්භවී නැත.

සිතියම් මුලාශ්‍රය: Inter Sector Coordination Group, Reach Initiative

කුතුපලොන්ග් සුවිසල් කඳවුර හැරුණුකොට තවත් පදිංචි කිරීම් කළ ස්ථාන 4 ක් දකුණු බංග්ලාදේශයේ තිබේ.
ලක්ෂ ගණනක රෝහිග්‍යා ජනතාවක් පසුගිය වසරේ මියන්මාරයේ ඇතිවූ ප්‍රචණ්ඩ හමුදා මෙහෙයුම්වලින් මිදී පළාවිත් මේ කඳවුරුවල නවාතැන් ගෙන සිටිති.

සිතියම් මුලාශ්‍රය: Inter Sector Coordination Group

රටක් අහිමි රෝහින්ග්‍යා මුස්ලිම් සුළුතරය, තමන්ගේ ගම්මාන ගිනිබත් කළ ආකාරයත්, වටකර පවුල් පිටින් මරා දැමූ ආකාරයත් කාන්තාවන් සහ දැරියන් දුෂණය කළ ආකාරයත් විස්තර කරති.
මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන මියන්මාරය පෙන්වා දෙන්නේ තමන් සිවිල් පුරවැසියන් ඉලක්කකර නොගත් අතර රෝහිග්‍යා සන්නද්ධ පිරිස්වලට එරෙහිව සටන් කළ බවය.

සිතියම් මුලාශ්‍රය: Human Rights Watch

රෝගී වූ සිය පියා ද අහිමිවූ කම්රූ එසේ පළා ගිය පිරිසට අයත් වූවාය.
"බුරුම හමුදා අපිට පහරදීපු නිසයි ආවේ," ඇය පවසන්නීය. "ඔවුන් අපේ ගම් ගිනි තබා මගේ අම්මා මැරුවා."

සිතියම් මුලාශ්‍රය: Human Rights Watch, Unicef

කම්රූ බංග්ලාදේශයේ ඇගේ අලුත් ජිවිතයට හුරු වෙමින් සිටින්නීය. ඇගේ 16 හැවිරිදි සොහොයුරිය වෙනත් කඳවුරක ඥාතීන් සමග ජීවත්වේ. ඇයට අලුත් මිතුරන් සිටී. ඔවුන්ට "බෙහෙවින් ආදරය කරන" බව ඇය ප්‍රකාශ කළාය.

"සමහර වෙලාවට මට ඉඩක් ලැබුණොත් අපි සෙල්ලම් කරනවා," ඇය පැවසුවාය. "මියන්මාරයේදී සිදුවූදේ ගැනත් අපි කතා වෙනවා. සමහර වෙලාවට මට ඒ ගැන හරියට දුක හිතෙනවා. මගේ ජිවිතයේ සතුට ගෙනා දේ පිළිබඳවත් විටෙක කල්පනා කරනවා."
ඇගේ අනාගත අපේක්‍ෂා ඉතා සරලය.
"ලොකුවුනාම දර අහුලන්න නොගින් ඉන්න ඇත්නම් හොඳයි," ඇය පැවසුවාය.
"ඒ වගේම මට සතුටින් ඉන්න ඕන."