සමලිංගික කාන්තාවන්ගේ රහසිගත භාෂාව

ඇයගේ ලිංගිකත්වය හඳුනාගන්නේ එවැනිම ස්ත්‍රියකි. ඇය මවක විය හැක. බිරිඳක විය හැක. මිතුරියක විය හැක.
මෙය සමලිංගික කාන්තාවන් අතර පමණක් පවතින රහසකි.

සමලිංගික සේවනය නීතියෙන් තහනම් කර ඇති රාජ්‍යයක දිවි ගෙවන, සමලිංගික කාන්තාවන් කිහිප දෙනෙකු සමඟ කතාබහ කිරීමට බීබීසීයට හැකි විය.
ඔවුහූ තම රහසිගත ජීවිතය අපට හෙළිදරව් කළහ. මේ කාන්තාවන් සමාජ ජාලා ඔස්සේ සහකාරියන් හඳුනාගන්නේ රහසිගත සංකේත භාවිත කරමිනි.

එම කාන්තාවන් භාවිත කරන රහසිගත සංකේත සියල්ලම නියෝජනය කිරීම සඳහා අපි දැනට දම් පැහැති මලක් යොදා ගනිමු. එම සංකේතය කිසිම රටක සමලිංගික කාන්තාවක විසින් මෙතෙක් භාවිත කරනු ලැබ ඇති බවට වාර්තා වී නොමැත.

හිරු අවරට යමින් තිබිණි.

මිතුරියන් හමුවීමට උද්‍යානය කරා පිය මැනීමට කදිම හෝරාව එළැඹ තිබේ.

උද්‍යානය කෙළවර රැස්ව සිටි කාන්තාවෝ ඉතා උද්යෝගිමත්ව දොඩමළුව සිටියහ. කතාබහ සිදුවන්නේ එකිනෙකා ගේ සිරුරෙහි ආලේපන ගල්වමින්, වර්ණවත් රටා අඳිමින් සිටින අතරතුර ය.

මසකට වරක් මේ කාන්තාවෝ මෙසේ රංචු ගැසෙති. නමුත් එකම තැනෙකදී නොව. ඒ සඳහා විවිධ ස්ථාන තෝරා ගනිති. විටෙක එය පොදු ස්ථානයක් විය හැක. නමුත් බොහෝ විට ඔවුන් හමුවන්නේ කවුළු පියන් පත් පවා වැසුණු කුටියක ය.

උද්‍යානයට රැස්ව සිටි කාන්තාවන්ගෙන් වැඩි දෙනා විවිධ වර්ණ සහ මෝස්‌තර සහිත අත් කොට බැනියමකින් සහ දිගු කලිසමකින් සැරසී සිටියහ. අත් කොට බැනියම ඉතා වැදගත් ය. එහි එක්තරා සලකුණක් පින්තාරු කර ඇත. එහි 'තේරුම' දන්නේ ඔවුන් ම පමණි.

මෙවන් ස්ත්‍රීන් සමුහයක් ඕනෑම රටක, ඕනෑම උද්‍යානයක සිටිය හැකිය.

නමුත් මේ බුරුන්ඩි රාජ්‍යය යි. මේ භුමිය මත මේ ස්ත්‍රීහු නීතිවිරෝධී වන්නාහු ය.

මේ රංචුවේ සියලු දෙනා වයස අවුරුදු 20ත් 30ත් අතර විය හැක. එකිනෙකා හඳුනාගෙන වැඩි කලක් නොවේ.

"ඇත්තටම අපි කවුද කියල මිනිස්සු දැන ගත්තොත්, අපි ඉවරයි." නෙලා දොඩමලු වූවාය.

එසේ වුවහොත් ඇය සිරගත වනු නියතය. ඊටත් වඩා භයානක වන්නේ තමන්ගේ පරම ඥාතියා ද ඇයට එරෙහිව නැගී සිටීමය.

“අන්තිමට ඉතින් මරණය තමයි." නෙලා පැවසුවාය.

නෙලා

නෙලා ඇයගේ ඡායාරූපයක් බීබීසීයට එව්වාය. ඒ සිය ජංගම දුරකතනයේ ඇති ආරක්‍ෂිත ඇප් උපාංගයක් ඔස්සේය.

ළමුන් කිහිප දෙනෙකු ද ඇය වටා සිටිනු දැකිය හැකිය.

"මේ මගේ දරු පැටව්. තාම පොඩි එවුන්. හැමෝම වයස අවුරුදු 10ට අඩුයි." නෙලා ඒ සමඟම කෙටි පණිවිඩයක් ද එව්වාය.

සිරුර හොඳින් ආවරණය වන සේ හැඳ සිටි නෙලා හිස වසා හිජාබයක් ද දමා සිටියා ය.

ඇය තවත් ඡායාරූපයක් එව්වාය. එහි සිටින්නේ දිගු කලිසමකින් සහ උඩු කයට තදින් සිර වූ අත් කොට බැනියමකින් සැරසී සිටින නෙලා මය. හිජබයක් නොමැත. හිස නිරාවරණ ය. මිතුරියන් හමුවීමට උද්‍යානයට පැමිණියේ ද මේ බැනියමින් උඩුකය වසාගෙන ය.

නෙලාගේ අක්බඹරු වරලස දෙඋර වසා දෙපසින් වැටී තිබිණ. දෙවැනි ඡායාරූපයේ ද ඇය සිටින්නේ තනිවම නොවේ. ඇයගේ එක් අතක් තවත් තරුණියක ගේ බඳ වටා එතී තිබිණ.

“මේ මගේ පෙම්වතිය." නෙලාගෙන් තවත් කෙටි පණිවිඩයක් ලැබුණි. "අපි දෙන්නම හුරුබුහුටියි නේද?"

ඒ තමන්ගේ පෙම්වතිය ලෙස තවෙකෙකුට හඳුන්වාදුන් ප්‍රථම අවස්ථාව මෙය බව ඇය පවසන්නීය. ඉන් දැඩි සතුටක් හිතට දැනුණු බව ද නෙලා තහවුරු කළාය.

දෙදෙනා හමුවූයේ සමාජ මාධ්‍ය ඇසුරෙනි.

"අපි හරිම සතුටින් ඉන්නේ." නෙලා පැවසුවාය.

මෙය රහසිගත ප්‍රේමයකි. දෙදෙනා හමුවීම අවදානම් සහගතය. නමුත් හිජාබය ඉවත ලා බටහිර පන්නයට හැඳ පැළඳ පෙම්වතිය හමුවීමට යන නෙලා හඳුනාගැනීම එතරම් පහසු නොවේ.

නෙලා කුඩා කළ සිට ක්‍රීඩාවට ඇලුම් කළාය. ඇයගේ පළමු පෙම්වතිය හමුවූයේ ද ක්‍රීඩාව තුළින්ම ය. එවක නෙලා දාහත් හැවිරිදි ය.

"එතකොට තමයි මට තේරුණේ මම වැඩියෙන් ම කැමති කාන්තාවන්ට බව." නෙලා පැවසුවාය.

බුරුන්ඩි රාජ්‍යයේ ගතානුගතික මුස්ලිම් පවුලක උපන් නෙලාට මෙය තහනම් පෙමකි.

බුරුන්ඩි, අප්‍රිකානු මහාද්වීපයේ ඇති දුප්පත්ම රාජ්‍යයන්ගෙන් එකකි. 2005 දී අවසන් වූ සිවිල් යුද්ධයෙන් රට තවත් අස්ථාවර විය.

නෙලාගේ සිහිනය වූයේ පාසලෙන් සරසවියට පිය මැනීම ය. නමුත් දෛවය හරස් විය.

දෙමාපියන්ගේ වියෝවෙන් පසුව නෙලාට විවාහයක් කර දීම සඳහා ඇයගේ සහෝදරයෝ යුහුසුළු වූහ. එවක ඇය විසි වැනි වියට එළැඹියා පමණි.

අතමිට සරු හාදයෙක් ඇයට කැමැත්ත පළ කළේය.

විවාහ මංගල්‍යය ලහිලහියේ සුදානම් විය.

ඇය පතිනියක වූවාය.

නෙලා මෙය දකින්නේ බලහත්කාරයෙන් කර දුන් විවාහයක් ලෙසිනි.

නෙලාගේ සැබෑ ලිංගිකත්වය සැමියා නොදනී. එය සතුටින් ගෙවී ගිය විවාහයක් නොවීය. දෙදෙනා එක්ව දොඩමළු වූයේ කලාතුරකිනි. ආදරය පෑල දොරින් පලා ගියේය.

දරුවන් කිහිප දෙනෙකු වැදීමෙන් අනතුරුව තමන් මුළු ලෝකයෙන් ම කොන් වී ඇතැයි නෙලාට දැනෙන්නට විය.

ඇය සමාජ ජාලා තුළ සැරිසරන්නට පටන් ගත්තාය.

ස්ත්‍රියකට කැමති තවත් ස්ත්‍රියක වේදැයි ඇය විපරම් කළාය.

ඒ තනිකම දරාගෙන සිටින, ලොව සිටින එකම ස්ත්‍රිය තමන් නොවන බව ඇයට පසක් විය.

ඇය තවත් දෙයක් සොයා ගත්තාය. සමලිංගික කාන්තාවන් එකිනෙකා හඳුනා ගැනීම සඳහා භාවිත කරන සංකේත ඇය හඳුනා ගත්තාය.

එමගින් සමලිංගික කාන්තාවන් සමඟ අදහස් හුවමාරු කර ගැනීම ඇයට පහසු විය.

ඒ නෙලාගේ කතාවයි.

“සමලිංගික කාන්තාවන් නැති රටක් නැහැ. අපිත් ඉන් කොටසක්.”

“අපි හැම තැනම ඉන්නවා.”

“අපේ හඬ ලෝකෙටම ඇහෙන්න ඕන.

“අපි ගැන දැනගත්තම අපි වගේ තවත් අය ගැන ඔබ සොයන්න පටන් ගනීවි. ඔබේ ප්‍රජාව තුළ පමණක් නොවෙයි ඔබේ පවුල තුළත් අපි වගේ අය ඇති.

නියා

නියා අපට හමුවූ තවත් තරුණියකි.

ඇය 27 වන වියට පා තැබුවා පමණි.

ඇය ඉපිද හැදී වැඩුණේ දෙමාපියන්ගේ දැඩි නීති රීති යටතේ ය.

සංගීතයට ඇලුම් කළ ඇයට එවැනිම මිතුරියක් හමු විය.

මිතු දම ඉතා ඉක්මනින් වර්ධනය විය.

"අපි නිතර කතා කරන්න පටන් ගත්ත." නියා අතීතය සිහිපත් කළාය. "දවසක් අපි ඉතා සමීපව ගැඹුරින් කතා කරමින් හිටියා. එක පාරටම මට තවත් ළංවෙලා එයා කිව්වා, 'මම කෙල්ලන්ට කැමතියි' කියල."

"ඒක අහපු ගමන් මට දැනුණු සතුට කියල නිම කරන්න බැහැ." ඒ නියාගේ වදන් ය.

නියාගේ රහසිගත ප්‍රේමය එසේ ආරම්භ විය. දෙදෙනා නිතර රහසේ හමු වූහ.

නියා ද නෙලා මෙන් නිතර දෙවේලේ සමාජ ජාලා තුළ සැරිසරන්නී ය.

සමලිංගික කාන්තාවන් පිළිබඳව අන්තර්ජාලයේ පවතින වාර්තා වැඩසටහන් නැරඹුවා ය. එවන් ස්ත්‍රීන්ගේ ජීවිතය අලලා තැනුණු සිනමා පට රස වින්දාය.

සමලිංගික කාන්තාවන් අතර පවතින රහස් සංකේත පිළිබඳව මනා දැනුමක් ලබා ගැනීමට ඇයට ද වැඩි කාලයක් ගත නොවීය.

දෙවසරක් ගෙවුණි. නියාට මේ රහස තවදුරටත් සඟවාගෙන සිටිය නොහැකි වූවාය. තම සොහොයුරාට රහස හෙළිකිරීමට ඇය තීරණය කළාය.

"සහෝදරයා මගෙන් ඇහුවේ ප්‍රශ්න දෙකයි. 'එයාව හඳුනාගෙන කොච්චර කල්ද? මේ තීරණය ගැන දෙගිඩියාවක් නැත්ද?' එපමණයි ඔහු මගෙන් ඇහුවේ."

“මම කිව්වා 'අවුරුදු දෙකයි. කිසිම දෙගිඩියාවක් නැහැ' කියල."

නියාගේ සහෝදරයා හිස වනා අනුමැතිය පළ කළේය. "මම හැමදාම ඔයාට උදව් කළානේ."

දෙදෙනා එකිනෙකා වැළඳ ගත්තෝය. එවක් පටන් දෙදෙනා ඒ පිළිබඳව කිසිදා කතා බහ කළේ නැත.

ලෙයිලා

ලෙයිලා එවක දාහත් හැවිරිදි වූවාය.

ලෙයිලාගේ සිත තුළ තම මිතුරියක කෙරෙහි ආදරයක් ඇතිවී තිබෙන බව ඇයට ම දැනෙන්නට විය.

ඇය තම මිතුරිය ගැන නිතරම සිතන්නට පටන් ගත්තාය.

ඇය ගැනම සිහින මවන්නට පෙළඹුණේ නොදැනුවත්වම ය.

මෙය ප්‍රේමය හැර අන් කිසිවක් නොවන බව ලයිලාට පසක් විය.

"දෙයියනේ මම කෙල්ලෙක්ට ආදරය කරනවා නේද" ඇයට ම සිතිණි.

"දෙයියනේ මොනවද මේ සිද්ධ වෙන්නේ"

ඒ වන විට ලෙයිලාට පෙම්වතෙකු ද නොසිටියා නොවේ.

ඇය හැදී වැඩුණේ බුරුන්ඩි රාජ්‍යයේ මධ්‍යම පාන්තික පවුලක ය.

ඇය බොහෝ දෙනා අතර ප්‍රිය මනාප චරිතයක් වූවාය.

සිය මිතුරිය ගැනම කල්පනා කරමින් සිටි ලෙයිලා ට තවදුරටත් මෙය තනිවම සඟවාගෙන සිටිය නොහැකි විය.

අවසානයේ දී මිතුරියට ඒ බව කීමට ඇය ඉටා ගත්තාය.

ලෙයිලා සිය මිතුරියට කෙටි පණිවිඩයක් යැව්වාය.

"මම හිතන්නේ මං ඔයාට ආදරය කරනවා."

පැය කිහිපයක් ගත විය. මිතුරිය නිහඬය. නිහඬතාව බිඳිමින් පිළිතුරක් ලැබුණි.

"මට සමාවෙන්න ලෙයිලා. මම කෙල්ලන්ට කැමති නැහැ."

ලෙයිලාට දැඩි ලැජ්ජාවක් දැනෙන්නට විය. "දෙයියනේ මම මේ මොනවද කර ගත්තේ?" ඇය සිතන්නට වූවාය.

කෙසේ නමුත් මිතු දම පලුදු කර නොගැනීමට දෙදෙනා වග බලා ගත්හ. ඒ ලෙයිලාගේ 'ප්‍රථම ප්‍රේමයේ' නිමාවයි.

"මම හිතුව ඊට පස්සේ මම 'සාමාන්‍ය ගැහැනියක්' වෙයි කියල." ඇය පැවසුවාය.

නමුත් සිදුවූයේ අනපේක්ෂිත දෙයකි. ලෙයිලාගේ ජංගම දුරකථනය ඇයගේ සොහොයුරා අතට පත් විය. ලෙයිලා තම මිතුරිය සමඟ හුවමාරු කරගත් කෙටි පණිවිඩ සියල්ල ඔහු දුටුවේය.

අනතුරුව එය ලයිලාගේ මව වෙත දිගු විය. එය තවත් සිදුවීම් මාලාවක ආරම්භය විය.

"අම්මත් අඬනවා.මාත් අඬනවා. අපි දෙන්නම අන්තිමට එකඟත්වයකට ආවා. අම්ම මගෙන් ඉල්ලීමක් කළා, 'සාමාන්‍ය ගැහැනියක්' වෙන්න කියල. මම එකඟ වුනා."

අනතුරුව ලයිලා පෙම්වතෙකු ඇසුරු කරන්නට පටන් ගත්තාය. නමුත් ඇයට එය නුහුරුය.

"මම එයාට ඒ තරම් සමීප නැහැ. මං හිතුවේ එයා කඩවසම් මදි නිසා වෙන්න ඇති කියල. ඒ ඇසුර නවත්වල මම හොඳ කඩවසම් තරුණයෙක් හොයා ගත්ත. ඒත් ඒක හරි ගියෙත් නැහැ." ඇය පැවසුවාය.

ඇය සමලිංගික ඇසුරට පමණක් ආශාව පවතින ස්ත්‍රියක බව ඇයට තව තවත් තහවුරු විය.

ඉන් මිදීමට මාර්ගයක් කොහේ හෝ ඇතැයි ඇය අපේක්‍ෂා කළාය. ඇය භාවනා කරන්නට පටන් ගත්තාය. දෙවියන්ට යාඥා කළාය. සහනයක් නොලත් තැන ඇය තමන්ටම වෛර කරන්නට පටන් ගත්තාය.

කාලය කෙමෙන් ගෙවෙමින් පැවතුණි. ලෙයිලා 21 වන වියට එළැඹෙමින් සිටියාය. තම ජීවිතය ආපසු හැරවිය නොහැකි බව ඇයට වැටහෙමින් පැවතුණි.

"මම හිතුවේ මුළු බුරුන්ඩි රාජ්‍යයටම ඉන්නේ මම විතරයි කියල. ඒත් මං වගේ තවත් අය ලෝකේ කොහේ හරි ඇති කියල මට හිතුණා."

ඇය ද අන්තර්ජාලය පීරන්නට වූවාය.

වාසනාව සහ අන්තර්ජාලය

බුරුන්ඩි රාජ්‍යය තුළ සමලිංගික කාන්තාවකට පෙම්වතියක් සොයා ගැනීම එතරම් පහසු නොවේ.

'ස්ත්‍රියකට ස්ත්‍රියක්' හමුවුයේ නම්, එක්කෝ එය වාසනාව විය හැක. නැතහොත් අන්තර්ජාලය යි.

ලෙයිලාට නියා හමුවූයේ රැකියාව කරන ස්ථානයේදී ය.

"අපි කෑම පැයේදී හැමදාම හමුවෙනවා. කතාබහ කරද්දී අපි දෙන්නම සමානයි කියල තේරුනා. රහසිගත සංකේත සහ ඉරියව්වලින් අපි එකිනෙකා තේරුම් ගත්ත."

රහසිගත සංකේත අතර ශාරීරික ඉරියව් ද පවතින බව ලෙයිලා හෙළිදරව් කළාය.

ඒ අතර බුරුන්ඩියට පමණක් ආවේනික වූ රහස් සංකේත සහ ඉරියව් ද පවතින බව ඇය පවසන්නීය.

ලෙයිලා, නියා සහ නෙලා ගේ එකතුව තවත් සමාජජාලා ප්‍රජාවක ආරම්භය විය.

දැන් බුරුන්ඩියේ රහසිගත සමලිංගික කාන්තා ප්‍රජාවක් බිහි වී තිබේ.

ඔවුහූ රහසින් තැන තැන හමුවෙති.

එනමුදු, බුරුන්ඩි රාජ්‍යය සමලිංගික ස්ත්‍රියකට ඉතා අනතුරුදායක භූමියක්‌ බව ඔවුන් නොදන්නවා නොවේ.

අඳුරු පැතිකඩ

සමලිංගික සම්බන්ධතා දඬුවම් ලැබිය යුතු වරදක් බවට 2009 වසරේ දී බුරුන්ඩි රාජ්‍යය තුළ නීතිගත විය.

සමලිංගික කාන්තාවන්ටත් අයිතිවාසිකම් ඇති බව දන්නේ බුරුන්ඩියේ අතලොස්සක් පමණි.

සමලිංගික ප්‍රජාව ගැන කිසිදු සංඛ්‍යා ලේඛනයක් හෝ වාර්තාවක් බුරුන්ඩියේ සොයා ගැනීමට නැති තරම් ය. එම නිසා ඒ පිළිබඳව පැහැදිලි චිත්‍රයක් කිසිවෙකුට නොමැත.

මේ භුමිය මත සමලිංගිකත්වය අපරාධයකි.

සමලිංගික කාන්තාවන් මරා දැමුණු අවස්ථා ගැන ද තමන්ට අසන්නට ලැබී ඇති බව ලෙයිලා පවසන්නීය.

සමලිංගික කාන්තාවක් බවට සැකයක් හෝ මතුවුවහොත් ප්‍රචණ්ඩත්වය ආරම්භ වන්නේ තමන්ගේ පවුල තුළින්ම ය.

පවුලේ පිරිමියෙකුගෙන් පහර කෑ කාන්තාවක් පොලිසියට ගොස් ඒ පිළිබඳව පැමිණිලි කර තිබේ. එහි සිටි පොලිස් නිලධාරියාගෙන් ඇයට අසන්නට ලැබී ඇත්තේ මෙපමණකි.

"උඹට ගහපු මිනිහට තෑග්ගක් දෙන්න වටිනවා. ඒ මිනිහ උඹට ගහපු එක හරි."

නෙලා මේ වනවිට දික්කසාද වී සිටී. අපට හමුවූ අනෙක් සියලු සමලිංගික කාන්තාවන් තවමත් විවාහක ය. ඔවුන්ගේ සැමියන්ට මේ බිරින්දෑවරුන් සිය ලිංගිකත්වය හෙළිදරව් කර නොමැත.