එංගලන්ත අභියෝගයට ශ්‍රී ලංකාව අභීතව මුහුණ දෙනවා: රංගන හේරත්

රංගන හේරත්

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය,

'අපට එංගලන්තයේ ශීතල දැනේවි. ඒත් ඊට හුරු වෙමින් හොඳට ක්‍රීඩා කරන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ''

මේ දිනවල ශ්‍රී ලංකාවේ පවතින ඉතා උණුසුම් සහ එංගලන්තයේ ශීතල දේශගුණය අතර විශාල වෙනස හඳුනන අතර මෙවර එංගලන්ත සංචාරයේ දී තමන්ට එල්ල වෙන අභියෝග හමුවේ ඒවාට අභීතව මුහුණ දෙන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් පවසයි.

ශ්‍රී ලංකාවේ තණතිලි සහ එංගලන්තයේ තණතිලි අතර වෙනසක් ඇතත් සිය කණ්ඩායම එවැනි තණතිලිවල ක්‍රීඩා කොට අත්දැකීම් ඇති බවයි, බීබීසී සංදේශය සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් රංගන හේරත් කියා සිටියේ.

"අපට එංගලන්තයේ ශීතල දැනේවි. ඒත් ඊට හුරු වෙමින් හොඳට ක්‍රීඩා කරන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ," රංගන හේරත් පවසයි.

එංගලන්ත සංචාරයේ දී කණ්ඩායම ශාරීරිකව මෙන්ම මානසිකවත් ශක්තිමත්ව සිටින බවත් ඔහු කියා සිටියි.

විස්සයි විස්ස අත්දැකීම්

පසුගිය විස්සයි විස්ස ලෝක ශූරතා තරඟාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සුපුරුදු දක්ෂතා අතර නොසිටීම පිළිබඳව බීබීසීය විමසීමක් කළ විට ශ්‍රී ලංකාවේ මුල් පෙළේ දඟ පන්දු යවන ක්‍රීඩකයා කියා සිටියේ එම සංචාරයේ දී කුසල් ජනිත් පෙරේරා සහ ලසිත් මාලිංග වැනි ක්‍රීඩකයන් කණ්ඩායම අතර නොවීම පාඩුවක් වූ බවයි.

ශ්‍රී ලංකා කණ්ඩායම

ඡායාරූප මූලාශ්‍රය, Rex Features

ඡායාරූප ශීර්ෂ වැකිය,

නව තරුණ ක්‍රීඩකයන් තුළ විශ්වාසය නංවමින් ඉදිරියට යාම කණ්ඩායමේ අභිලාෂයයි

ඔවුන් දෙදෙනා කණ්ඩායම තුළ වී නම් එය හොඳ තරඟාවලියක් වනු ඇතැයි යන්න රංගන හේරත් ගේ අදහසයි.

එංගලන්ත සංචාරයට ටෙස්ට් ක්‍රිකට් තරඟ තුනක්ද ඇතුලත් වීම ගැන සංදේශයේ සරෝජ් පතිරණ සිහිපත් කළ විට රංගන හේරත් කියා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තයට එරෙහිව සහභාගි වූ ටෙස්ට් තරඟ දෙකම පරාජය වූ අතර මහේල සහ සංගක්කාර නොවීම එහිදී විශාල පාඩුවක් වූ බවයි.

එහෙත් විශ්‍රාම ගිය ක්‍රීඩකයන් ගැන කතා කරමින් සිටීමේ තේරුමක් නැතැයි සඳහන් කළ රංගන හේරත් නව තරුණ ක්‍රීඩකයන් තුළ විශ්වාසය නංවා ලිය යුතු බවයි පෙන්වා දුන්නේ.

නව පුහුණුකරු

ශ්‍රී ලංකා කණ්ඩායමේ නව පුහුණුකරු වන එංගලන්තයේ 'සරේ' කණ්ඩායමේ හිටපු පුහුණුකරු ග්‍රැහැම් ෆෝර්ඩ් ගේ එංගලන්ත අත්දැකීම් මෙවර සංචාරයේ දී කණ්ඩායමට රුකුලක් වනු ඇති බවත් රංගන හේරත් පවසයි.

මෙවර එංගලන්ත සංචාරයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පුහුණුවීම් වල නිරත වෙමින් සිටින අතර සිය කුසලතා ඉහළින් ප්‍රදර්ශනය කිරීම තම අපේක්ෂාව වන බවත් ඔහු කියා සිටියි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙවර එංගලන්ත සංචාරය මැයි 19 වෙනි දින ආරම්භ වෙන අතර ඊට ටෙස්ට් තරඟ තුනක්, එක් දින තරඟ පහක් සහ විස්සයි විස්ස තරඟ එකක් ඇතුළත් වෙයි.