ලසිත් මාලිංගට අයිපීඑල් ක්‍රීඩාකරන්න අවසර නෑ: ක්‍රිකට් ආයතනය

Image copyright Getty Images
Image caption සිය ආබාධිත තත්වය හේතුවෙන් ලෝක කුසලානයට පෙරාතුව ලසිත් මාලිංග විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස් විය

අයිපීඑල් ඉන්දීය ප්‍රීමියර් ලීගයේ ක්‍රීඩා කිරීම පිණිස ලසිත් මාලිංගට මෙතෙක් අවසර දී නැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ක්‍රිකට් පාලක මණ්ඩලය ඒ බව පවසන්නේ, 'මුම්බායි ඉන්දියන්ස්' කණ්ඩායමට ක්‍රීඩාකිරීම පිණිස ලසිත් මාලිංග දැනටමත් ඉන්දියාව බලා ගොස් ඇති බවට පල වන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාරය පල කරමින්.

ලොව ඕනෑම රටක සංචාරය කිරීමට, ක්‍රිකට් ක්‍රීඩාව නැරඹීමට සහ පුහුණු තරඟයකට සහභාගි වීමට හෝ පුහුණුවීමට ඔහුට කිසිදු තහනමක් නොමැති බව පවසන ක්‍රිකට් ආයතනය, කෙසේ නමුත් අයිපීඑල් තරඟවලට සහභාගි වීමට පෙරාතුව ඔහු ක්‍රිකට් ආයතනයෙන් අවසර ලබාගත යුතු බව පෙන්වා දෙයි.

එම අවසරය ලබාදීමට පෙරාතුව ඔහුගේ ආබාධයේ තත්වය විමසා බැලීම පිණිස ක්‍රිකට් ආයතනය විසින් දැනටමත් විශේෂඥ වෛද්‍ය කමිටුවක් පත්කර තිබෙන බව පවසන නිවේදනය, ලසිත් මාලිංග ක්‍රීඩා කිරීමට යෝග්‍ය සෞඛ්‍ය තත්වයක සිටින බව එම කමිටුව විසින් මෙන්ම භෞත චිකිත්සකයා, පුහුණුකරුවන් සහ තේරීම් කමිටුව විසින්ද නිගමණය කළ යුතු බවත් අවධාරණය කරයි.

'කරුණු දක්වන්න'

එහි මූලික පියවර වශයෙන් ලසිත් මාලිංග ලබන බදාදා අදාළ විශේෂඥ වෛද්‍ය කමිටුව ඉදිරියේ පෙනී සිටීමට නියමිත බවත් නිවේදනයේ සඳහන්.

ඉන්දියාවේ සංචාරය කරන බවක් හෝ අයිපීඑල් තරඟාවලියේ ක්‍රීඩාකරන බවක් ඔහු මේ වනතෙක් ක්‍රිකට් පරිපාලනයට දැනුම් දී නැති බවත් ක්‍රිකට් ආයතනය පවසයි.

මේ අතර මෑතදී ජනමාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් කරුණු දක්වන මෙන්ද ක්‍රීඩා බලධාරීන් ලසිත් මාලිංගට නියෝග කර තිබේ.

විශේෂයෙන් පසුගියදා ඉන්දියාවේ පැවැත්වුණු විස්සයි විස්ස ජගත් කුසලානයට තරඟ වැදුණු කණ්ඩායමට සිය අකමැත්ත නොතකා තමා තෝරාගත් බවට කළ ප්‍රකාශය පිළිබඳව ඔහුගෙන් නිදහසට කරුණු විමසා ඇති බවයි, විශ්වාස කෙරෙන්නේ.

එහෙත් එම ප්‍රකාශයට දින කිහිපයකට ඉහතදී බීබීසී සංදේශය සමඟ අදහස් දැක්වූ ලසිත් මාලිංග කියා සිටියේ ආබාධිත තත්වය හේතුවෙන් නායකත්වයෙන් ඉල්ලා අස්වුවත්, කණ්ඩායමේ සාමාජිකයකු ලෙස ජගත් කුසලානයට තරඟ වැදීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි.

බීබීසී යෙන්