එක් දින පිටියෙන් සමුගන්නේ හරිම සතුටින්: රංගන හේරත්

රංගන හේරත්
Image caption ක්‍රීඩා ජීවිතය ගැන කණගාටුවක් නෑ - රංගන හේරත්

ඉදිරි වසර ඇතුලත බොහෝ ටෙස්ට් තරඟ තිබෙන නමුත් විශේෂයෙන්ම ජගත් කුසලාන සඳහා වසර කිහිපයක් තිබෙන බැවින් එක් දින සහ විස්සයි විස්ස පිටියෙන් සමුගැනීමට සුදුසුම කාලය මෙය යයි තමන්ට හැඟී ගිය බව ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් පවසයි.

සිය ක්‍රීඩා ජීවිතය තුල කිසිදු කලකිරීමක් නොමැති අතර, එක් දින සහ විස්සයි විස්ස පිටියෙන් සමුගන්නේ ඉතා සතුටින් බවද කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ දඟ පන්දු යවන්නා බීබීසී සංදේශයට පැවසීය.

"විශේෂයෙන්ම සතුටෙන්. කිසිම දෙකට මම කණගාටු වෙන්නේ නෑ. මට ලැබුණු දේවල් ගොඩයි මේ ක්‍රීඩාව නිසා," ඔහු පැවසීය.

2014 දී පාකිස්තානය සමඟ පැවති ටෙස්ට් තරඟයකදී ලකුණු 127 කට කඩුලු 9ක් දවාගැනීම, එක් දින තරඟවලදී ලකුණු 20 කට කඩුලු 4ක් දවාගැනීම සහ විස්සයි විස්ස ක්ෂේත්‍රයේ ලකුණු තුනකට කඩුලු පහක් දවාගැනීමත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔහු පෑ ඉහලම දස්කම්.

"කිසිම කෙනෙක් එක්ක ප්‍රශ්නයක්වත්, කිසිම දෙයක් නිසා නෙවෙයි මම සමුගන්නේ; ඉතාමත් සන්තෝෂයෙන් සමුගන්නේ," රංගන හේරත් වැඩිදුරටත් සඳහන් කළේ සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

ඉදිරි ජගත් කුසලානය දක්වා පවතින කාලය ඇතුලත නව පරපුරේ දඟ පන්දු යවන්නෙකුට කණ්ඩායමට එක් වී ඉදිරියට යාමට අවස්තාව සලසාදීම සිය අභිප්‍රාය බවත් ඔහු සඳහන් කළේය.

ලෝක කුසලාන දෙකකට සටන් වැදීමට අවස්තාව ලැබීම සහ විස්සයි විස්ස ජගත් කුසලාන තුනකට සහභාගි වී ලෝක කුසලානය දිනාගත් කණ්ඩායමේ සාමාජිකයකු වීමට හැකිවීම සිය ක්‍රීඩා දිවියේ මතක සටහන් අතර ඉදිරියෙන්ම තිබෙන බවයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ දඟ පන්දු යවන ක්‍රීඩකයා පවසන්නේ.

අයිපීඑල් වැනි ශූරතාවලීන්ට සහභාගි වීමට අවස්තාව නොලැබීම පිළිබඳව කණගාටුවක් නැති බවත් රංගන හේරත් වැඩිදුරටත් බීබීසී සංදේශයට පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර