කෞෂාල් සිල්වා ගේ තත්වය අසාධ්‍ය නෑ - ක්‍රිකට් ආයතනය

කෞෂාල් සිල්වා
Image caption මහනුවර රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු ගුවනින් කොළඹ බලා රැගෙන ගොස් තිබේ.

මහනුවර පැවති පුහුණු තරඟයක් අතරතුර පන්දුවක් හිසේ වැදුණු ක්‍රීඩක කෞෂාල් සිල්වා ගේ තත්වය අසාධ්‍ය නැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීහු පවසති.

එළඹෙන එංගලන්ත සංචාරය වෙනුවෙන් මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවති පුහුණු තරඟයක් අතරතුර පන්දුවක් හිසේ වැදීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා මහනුවර රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගුවනින් කොළඹ බලා රැගෙන යන ලදි.

ඉන් අනතුරුව ඔහු කොළඹ නවලෝක රෝහලේදී CT ස්කෑන් පරීක්ෂණයකට ලක් කරන ලද බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් සිල්වා බීබීසී සංදේශය කළ විමසීමකදී සඳහන් කළේය.

"එතරම් අසාධ්‍ය තත්වයක් නෙවෙයි තියෙන්නේ, වෛද්‍යවරුන් සඳහන් කරන්නේ ඔහුගේ ජීවිතයට තර්ජනයක් නැති බව," ඔහු පැවසීය.

ඔහුගේ තත්වය පිළිබඳව අනාවැකි පල කිරීමට තවමත් කල් වැඩි වුවත්, එංගලන්ත සංචාරයට සහභාගිවීමට කෞෂාල් සිල්වාට අවස්ථාව ලැබෙනු ඇතැයි යන්න සිය විශ්වාසය බවත් මොහාන් සිල්වා වැඩිදුරටත් පැවසීය.

Image copyright Getty Images
Image caption කෙසේවෙතත් ඔහුගේ ජීවිතයට තර්ජනයක් නොමැති බවයි පැවසෙන්නේ
Image copyright Getty Images
Image caption දිනේෂ් චන්දිමාල් එල්ල කළ පහරක් කෞෂාල් සිල්වාගේ හිසේ වැදී ඇත්තේ කඩුල්ල අසල පන්දු රකිමින් සිටියදී

දිනේෂ් චන්දිමාල් එල්ල කළ පහරක් ඔහුගේ හිසේ වැදී ඇත්තේ කඩුල්ල අසල පන්දු රකිමින් සිටියදී.

පන්දුව හිසේ වැදීමෙන් අනතුරුව කෞෂාල් සිල්වා සෙසු ක්‍රීඩකයන් හා කතාබහ කළත් ඔහු කම්පනයෙන් සිටි බවයි එහි සිටි ක්‍රීඩකයකු බීබීසී සංදේශයට කියා සිටියේ.

එංගලන්ත සංචාරය වෙනුවෙන් සෙනසුරාදා පැවති තරඟයේදී ශතකයක් වාර්තා කිරීමට කෞෂාල් සිල්වා සමත් විය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර